Thursday, April 7, 2016

වසර දහසයකට පෙර
කොළඹ නගරසභා පිටියේ  දී
බිහිසුණු අවස්ථාවක් නිර්මාණය වුණු හැටි.

  1999.12.18 දින කොළඹ නගරසභා පිටිය දෙදරවමින් බෝම්බයක් පිපුරුවේය. එදින නගරසභා පිටියේ මැතිවරණ රැළියක් පැවති අතර එයට සහභාගී වූ ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය  තුවාල ලැබුවාය. ඇයගේ ජීවිතය බේරුනේ අනූනවයෙනි. බෝම්බය පුපුරා යාමෙන් ඇයගේ ඇසකට හානි විය. ඒ වන විට එතුමිය ගත කරමින් සිටියේ සෙනසුරු මහ දශාවේ රාහු අන්තර් දශාව යි.
අනතුර සිදුවීමට මාසයකට පෙර, එම කාලයේ පලවූ දෛවය පුවත්පත තුළින් මා අනතුරු අඟවා සිටියේ " ජනපතිනියට මාරක අපලයි ප්‍රචාරක රැළි ප්‍රවේශමෙන් " යන ශීර්ෂය ඔස්සේ ලියූ අනාවැකියකිනි. කෙසේ වෙතත් ජනපතිනියට ඇසක් අහිමි වුණු අතර ජීවිතය යන්තමින් බේරුනි.
   මෙම බිහිසුණු අවස්ථාව නිර්මාණය වූ ආකාරය ජ්‍යෝතිෂය ඇසුරින් පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ යි. මෙහිදී, අනතුර සිදුවන කාලය වන විට චන්ද්‍රිකා මැතිනිය ගත කළ ග්‍රහ තත්වය විමසුමට ලක් කිරීම වැදගත් වේ.
  අනතුර සිදුවන අවස්ථාව වන විට මැතිනිය ගත කරමින් සිටියේ සෙනසුරු මහ දශාවේ රාහු අන්තර් දශාවේ කේතු විදශාව යි. සෙනසුරු ඒ වන විට ගමන් කරමින් සිටියේ මේෂ රාශියේ යි. මැතිනිය ගේ කටක ලග්නය හිමි කේන්දරයේ දස වැනි භාවයේ යි. උප්පත්ති කේන්දරයේ දස වැනි භාවයේ කුජ තැන්පත්ව සිටියේය.කුජ සිටින රාශිය මතින් සෙනසුරු ගමන් කරන කාලය අවදානම් සහිත කාලයකි. ඉසිවරු පවසා ඇති පරිදි මෙම කාලය ලේ සෙලවෙන කාලයකි. උප්පත්ති කේන්දරයේ ලග්නාධිපති සඳු තැන්පත්ව සිටියේ සෙනසුරුට හිමි මකර රාශියේ ය. ඒ හත්වැනි භාවයේ යි.  අනතුර සිදුවන දිනය වන විට කුජ තැන්පත්ව සිටියේ එම හත් වැනි භාවයේ ය. කුජ යනු රුධිරය, අනතුරු, ගැටුම් නියෝජනය කරන ග්‍රහයා ය. කුජ හත් වැනි භාවයේ තැන්පත්ව සිටියේ කේතු සමග ය. කුජ, කේතු දෙදෙනා ලග්නාධිපති සඳු පීඩනයට ලක් කරමින් හත් වැනි භාවයේ ගමන් කිරීම අවධානම් තත්වයකි.
   අනතුර සිදු වුණු අවස්ථාවේ, එනම්  පස්වරු දහය වන විට උදා වී තිබුණේ ද කටක ලග්නය යි. කටක ලග්නය හිමි තත්කාල කේන්දරයේ දස වැනි භාවයේ ඒරාෂ්ඨකයක් යෙදී තිබුණි. ඒ සෙනසුරු සඳු සමග සංයෝග වෙමිනි.  අනතුර සිදුවන අවස්ථාව වන විට සෙනසුරු ගමන් කරමින් සිටියේ සිකුරු හිමි බෙරණ නැකතේ ය. සිකුරු උප්පත්ති කේන්දරයට අනුව 22 වැනි දෙර්කනාධිපතියා ය. සිද්ධිය සිදුවන අවස්ථාවේ සිකුරු තම රාශියක් වූ තුලා රාශියේ තැන්පත්ව ඒරාෂ්ඨකය යෙදී තිබුණු දස වැනි භාවයට සප්ථම දෘශ්ටිය හෙළමින් සිටියේය. අනතුරුදායක අවස්ථාව නිර්මාණය වී තිබුණේ ඔය ආකාරයට ය.
   කේන්ද්‍රය තුළින් පෙන්වන අවදානම් කාල සීමාවන් තුළ ආරක්ෂාකාරී විය යුතුය. වර්තමානයේ පවතින ග්‍රහ තත්වය කෙබඳු ද ? අවදානම් සහිත ද ? ඉදිරි කාලය සුබද අසුබද ? අවදානම් සහිත කාලසීමාවක් පැමිණෙන්නේ ද? මේ ආකාරයට තම ජ්‍යෝතිෂ උපදේශකවරයා ගෙන් සියලු කාරණා  අසා දැන ගත යුතුය.  ජ්‍යෝතිෂය බිහිකොට තිබෙන්නේ ඒ සඳහාය.