වැඩි දෙනෙක් "ඇත්ත"ට කැමති නෑ.
බහුතරයක් කැමති "බොරුව"ට.
දේව මණ්ඩලය යාළු කරගන්න හැටි, ලග්න හතරකට ලක්ෂ ගණන් සල්ලි, ඉටු දෙවියන්ගෙන් වැඩගන්න හැටි, ධනය ගලා එන මන්තරක්, ඔබට හිමි පෙම්වතා, පෙම්වතිය සිහිනෙන් දැකගන්න විදිය, ගණදෙවි රහස්, දේවතාවියක් නිදි යහනට ගෙන්වාගන්න විදිය...ඔය වගේ දේවල්වලට ගොඩක් දෙනෙක් කැමතියි. කිසිදා යථාර්ථයක් බවට පත් නොවුණත්, මිනිස්සු මේ දේවල් හොයනවා. ඉතින්, ඔය විදියෙ දේවල් ලියන කියන අයත් දිනපතා දුසිම් ගණන් බොරු එළියට දානවා.
බුදුන් වහන්සේ මිනිස්සුන්ට ඇත්ත කිව්වා. ඇත්ත 'අමුවෙන්ම' කිව්වා. මිනිස්සුන්ට වුවමනා වුණේ ඇත්ත නෙමෙයි. ඒ අයට ඕනැ වුණේ මිහිරි බොරුවක්.
"ඔබ ඔබගේ ඇතුළාන්ත ආධ්යාත්මය වෙතට පැමිණි පසු ඔබව අතුරුදන් වෙනවා. එතැන ස්වකීයත්වයක් නෑ. එතැන භවයක් නෑ. එතැන ආත්මයක් නෑ. ඔබ නිකම්ම බිංදුවක් බවට පත් වෙනවා. මෙම බිංදුව සර්වසම්පත්තීය බිංදුවක් බවට පත්ව දියව යනවා. "
කතාව මුළුමණින්ම ඇත්ත. ඒත්, කාටද අවශ්ය බිංදුව බවට පත්වෙන්න ? කාටද අවශ්ය ශූන්ය වෙන්න ? දැන් ඉන්න කාටවත් බිංදුවක් බවට පත්වෙලා අතුරදන් වෙලා යන්න අවශ්යතාවයක් නෑ. ඊට වඩා කාලකන්ණිකම හොඳයි. එතකොට මට අඩු ගණනේ මමවත් ඉන්නවා. මිනිස්සු හිතන්නෙ එහෙමයි.
අවබෝධය කරා කෙනෙක්ව රැගෙන යන එක ඉතාමත් අමාරු වැඩක්. විශ්වාසයන් වටා මිනිස්සු රොඳ බැඳගන්නවා. "මම රහත් වුණා" කී සැණින් ඔහු වටා ඒකරාශී වෙන්න මිනිස්සු ඉන්නවා. කෙනෙකුට දෙවියන්ගෙන් වරමක් ලැබුණා කී සැණින් හතරදිග්භාගයෙන් හොයාගෙන එන්න අය ඉන්නවා. මොන තරම් රැවටුණත් මිනිස්සු කැමතියි විශ්වාස කරන්න.
ජ්යොතිෂය, ගුප්ත විද්යාව තුළ විතරක් නෙමෙයි. සෑම විෂයකම, සෑම ක්ෂේත්රයකම සත්යය සහ මිත්යාව දෙකම තියෙනවා. මිත්යාව බැහැර කරලා සත්යය තෝරා බේරා ගන්න නම් අවබෝධය අවශ්ය වෙනවා.
සංජීව කුළුපන බණ්ඩාර