Tuesday, June 22, 2021

බලවත් අයත් දුර්වල වෙනවා

 


"මොන තරම් බලවතෙකුගේ වුණත් දුර්වලම අවස්ථාවක් තියෙනවා. මොන තරම් දුර්වලයෙකුගේ වුණත් බලවත්ම අවස්ථාවක් තියෙනවා."  කැමරාකරණයේ යෙදෙන අය දන්නා තවත් කාරණයක් තියෙනවා. " මොන තරම් ලස්සන කෙනෙකුගේ වුණත් කැතම ඈන්ගල් එකක් තියෙනවා. මොන තරම් අවලස්සන කෙනෙකුගේ වුණත් ලස්සනම ඈන්ගල් එකක් තියෙනවා.


මුවාට දිවියා පරදින වෙලාවල්, නයාට මුගටියා පරදින වෙලාවල්, මීයාට බළලා පරදින වෙලාවල් ජ්‍යොතිෂයේ තියෙනවා. ඒවා බොහොම විශේෂ බලවත් මුහුර්ථ විදියට තමයි සඳහන් වෙන්නෙ.


ඒ කොයි හැටි වෙතත් තමන්ගේ දුර්වල අවස්ථාවන් කිසිවෙකුටත් අල්ලගන්න දෙන්න හොඳ නෑ. තමන්ගේ දුර්වලතා තව කෙනෙක් දැනගැනීම හරි භයානකයි. මිතුරු වෙසින් ඉන්නෙ හතුරො වෙන්න පුළුවන් වගේම මිතුරො විදියට ඉන්න අය පස්සෙ හතුරො බවට පත් වෙන්නත් පුළුවන්. ඒ හින්දා හොඳම මිතුරාටවත් තමන්ගෙ දුර්වලතා දැනගන්න ඉඩ තියන්න හොඳ නෑ.


කේන්දරය, හඳහන, ජන්ම පත්‍රය එහෙමත් නැත්නම් වේලාපත්කඩය විතරක් නෙමෙයි උපන් වෙලාව වුණත් හරිම පෞද්ගලික දෙයක්. ඉස්සර අපේ අම්මලා ඕක ආවට ගියාට එළියට ගත්තෙ නෑ. අවශ්‍යම මොහොතක අරගෙන තමන්ට විශ්වාසවන්ත දෛවඥ මහත්තයෙක් මුණගැහිලා සුබ අසුබ විමසුවා. හඳහන කාගෙවත් අතේ යැව්වෙත් නෑ. අපලයක් තිබුණා නම් පිළියමක් කළා. ඒ කිසි දෙයක් ප්‍රසිද්ධියෙ කළේ නෑ. හඳහන විතරක්යැ, පෞද්ගලිකව රැක ගත යුතු, ආරක්ෂා කළ යුතු කිසි දෙයක් අනුන්ට දැනගන්න ඉඩක් තිබ්බෙ නෑ. ගෙදර හැමෝම ගෙයින් බැහැර වුණා නම් කළින් එන කෙනාට දොර ඇරගන්න යතුර සඟවලා තිබ්බෙත් බොහොම පරිස්සමෙන්.


 අද කාලයේ ගොඩක් දෙනෙකුට හඳහන කියන්නෙ පෞද්ගලික දෙයක් නෙමෙයි. ඕනෑම තැනක ඕක දෙපාරක් නොසිතා පලකරනවා. ජ්‍යොතිෂය දන්න නොදන්න ඕනැ කෙනෙකුට යවනවා. ඉල්ලන කෙනාට දෙනවා. කෙනෙක්ගෙ දුර්වලතා හරි අපූරුවට කේන්දරයෙන් අල්ලගන්න පුළුවන්. කේන්දරයෙන් දුර්වලම අවස්ථාව හොයාගෙන මන්තර සාස්තරෙන් මොනවත් කරන්න පුළුවන් අය නම් මුහුණු පොතේ ඇති කියල හිතන්න අමාරුයි. ඒත් යම් දුර්වලතාවයක් හෝ ගැටළුවක් අවස්ථාවාදී විදියට භාවිතා කරන්න ඉඩ කඩ නැත්තෙ නෑ. පවුල් ජීවිතයේ ගැටළු, ආදර බැඳීම් සම්බන්ධ ගැටළු විතරක් නෙමෙයි මුදල් හෝ දේපළ සම්බන්ධ ගැටළු පවා කෙනෙක් උපායශීලී ලෙස භාවිතා කරන්න පුළුවන්. ස්ත්‍රී පක්ෂය තමයි විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනැ. කෙනෙක් කේන්දරය යොමු කරලා පවුල් ජීවිතය ගැනම අහන කොට එයාගේ පවුල් ජීවිතයේ ගැටළුවක් තියෙනවාය කියන එක ජ්‍යොතිෂය නොදන්නා කෙනෙකුට වුණත් අවබෝධ කරගන්න පුළුවන්. මොකද සමහරු වරින් වර එකම දේ අහනවා. ගෲප් කීපයකට එකම ගැටලුව යොමු කරනවා. අවදානයෙන් ඉන්න කෙනාට වැඩේ අහු වෙනවා. ඊට පස්සෙ ඒ ගැන අවදානයෙන් ඉන්න අවස්ථාවාදී පුද්ගලයා කොහොම හරි අර කාන්තාවට සමීප වෙන්න මාර්ග හොයනවා. 


අනාවැකි කියනවා, හඳහන් බලනවා කියන සමහර ගෲප්වල මෙලෝ ජ්‍යොතිෂ දැනුමක් නැති අයත් අනාවැකි කියනවා. ජ්‍යොතිෂ විරෝධී ගෲප් පවත්වාගෙන යන අයත් සමහර ජ්‍යොතිෂ ගෲප්වල හඳහන් බලනවා. මේසන් බාස්ලා, වේටර්ලා, සේල්ස්මන්ලා, රියැදුරෝ හැමෝම හඳහන්වලට අනාවැකි කියනවා. මේ හැමෝම කියන විවිධාකාර අනාවැකි, උපදෙස් අහගන්න කෙනාට වෙන්නෙ බූරුවා කරේ තියාගෙන ගිය කෙනාට වෙච්චි දේම තමයි. සමහරු ෆේක් අකවුන්ට් හදාගෙන විනෝදෙට හඳහන් යොමු කරනවා. ෆේක් අයට පිළිගැනීම අඩුයි. වැඩි දෙනෙක් ෆේක් අයට අනාවැකි කියන්නෙ නෑ. අනිත් එක තමයි ජ්‍යොතිෂය කරන සමහරුත් ෆේක් විදියට හඳහන් යොමු කරනවා. ඔය වගේ කාරණා හින්දා සමහර ගෲප්වල ෆේක් අයට අනාවැකි කියන්නෙ නෑ. ඒ හින්දා ඇත්ත ෆොටෝ එකෙන් යන්න වෙනවා. ඒකෙන් තමයි අවදානම වැඩි වශයෙන් මතු වෙන්නෙ. 


හඳහන කියන්නෙ පෞද්ගලික දෙයක්. ඒ වගේම තමයි, තමන්ට විශ්වාසවන්ත එක ජ්‍යොතිෂවේදියෙක් හෝ දෙන්නෙක් තියාගන්න. තමන්ගෙ ජ්‍යොතිෂ උපදේශකවරයා තමන්ට හොඳටම විශ්වාසවන්ත අයෙක් විය යුතුමයි. ඔබේ පෞද්ගලිකත්වය අනාවරණය කරන්නෙ කාටද ඔහු හෝ ඇය විශ්වාසය තැබිය හැකි අයෙක් විය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නෙ දැනට තියෙන ගැටලු දෙගුණ තෙගුණ වීම පමණයි. 


අධම, අශිෂ්ට පුද්ගලයින් හැම ක්‍ෂේත්‍රයකම ඉන්නවා. ජ්‍යොතිෂ ක්‍ෂේත්‍රයේත් එහෙම අය ඉන්නවා. ඕනෑම වර්ගයක කෙනෙකුට ජනතාව සමඟ පහසුවෙන් සම්බන්ධ වීමේ ඉඩ කඩ අන්තර්ජාලය තුළ හැදිලා තියෙනව. මෙයින් මුහුණු පොත විශේෂයි. බොහෝ දෙනෙක් රැවටෙනවා. නොයෙක් ගැටළුවලට මුහුණ දෙනවා. ඒවායින් යම් ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත් වුණත් බොහෝ දෙනෙක් ලැජ්ජාව හේතුවෙන් සියල්ල රහසේ විඳ දරාගන්නවා. නොරැවටී ඉන්න නම්, අමාරුවෙ නොවැටී ඉන්න නම් තමන්ගෙ පෞද්ගලිකත්වය රැකගන්න ඕනැ. තමන්ගෙ දුර්වලතා, ගැටළු ප්‍රසිද්ධියට පත් කරන්න හොඳ නෑ.


සංජීව කුළුපන බණ්ඩාර