Monday, June 14, 2021

කාලය කියන්නෙ මායාවක්.

 



කාලය කියන්නෙ මායාවක්. වයසට යනව කියන්නෙ බොරුවක්. වසරක් කියල කියන්නෙ චින්තනයක්.  ආධ්‍යාත්මය කවදාවත් වියපත් වෙන්නෙ නෑ. එයට කාලයක් නෑ. වයසක් නෑ. අවසානයක් නෑ.


ඉවසීම, කරුණාව, සත්‍යවාදී බව,නිහතමානීකම, හොඳ හිත, සාමය, ආදරය කිසි දවසක වයසට යන්නෙ නෑ.අපි අපේ ජීවිත තුළ මේ ගුණාංග නොනවත්වා පවත්වාගෙන යනවා නම් ආධ්‍යාත්මික වශයෙන් අපි හැමදාමත් තරුණයි.


හැම මොහොතක්ම සතුටින් ගත කරන්න ඕනැ. සතුටු වීම පුරුද්දක් කරගන්න ඕනැ.සන්සුන් මනසක අස්වැන්න තමයි සතුට කියන්නෙ. සතුටු වෙන්න පුළුවන් ඕනෑම විදියකට සතුටු වෙන්න ඕනැ. ඒත් ඒ සතුට තුළ කාටවත් කරදරයක්, හානියක්, බාධාවක්, සිත් තැවුලක් ඇතිවෙන්න දෙන්න හොඳ නෑ. සතුට ලබන සෑම ක්‍රමයක්ම සර්ව සාධාරණ වෙන්න ඕනැ. 


මම වසර විසි ගණනක් ජ්‍යොතිෂය තුළ කටයුතු කළා. ජ්‍යොතිෂය ගැන ලිව්වා. ජ්‍යොතිෂය ගැන ලියපු හැම දෙයක්ම වගේ ලිව්වෙ ජ්‍යොතිෂය දන්නා අයට නෙමෙයි නොදන්නා අයට. කාලෙක ඉඳලා ජ්‍යොතිෂය ගැන ලියන එක ටිකක් අඩු වුණා. තවමත් ජ්‍යොතිෂවේදී භූමිකාව තුළ ඉන්නවා. ඒත්, ටික කාලයක ඉඳලා අධ්‍යාත්මික පැත්තට වැඩිපුර නැඹුරු වෙන්න පටන්ගත්තා. ඒක හරිම අපූරු පරිවර්තනයක්. භාවනා කරන්න පටන් ගත්තා කියල කියන්න කැමති නෑ. විශේෂ ඉරියව්වක ඉඳල කවදාවත් මම භාවනා කරලා නෑ. ජීවීතය භාවනාවක් කරගත්තා. දවසට කීප වතාවක් ලෝක සත්වයාට මෙත් වඩන්න පුරුදු වුණා. ආධ්‍යාත්මය එක්ක ගණුදෙනු කරන්න පටන් ගත්තා.  ජ්‍යොතිෂය ගැන ලියනවට වඩා හිත ගැන, මෛත්‍රිය ගැන ලියන්න පෙළඹුණා. 


මගේ ජ්‍යොතිෂයට, ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවලට ගුරුවරයෙක් නෑ. මම කාටවත් උගන්වලත් නෑ. මට උගන්වන්නත් බෑ. මේක මට ලොකු ප්‍රශ්නයක්. මේ ඇයි කියන එකත් මම ඇහුවෙ මගේ ආධ්‍යාත්මයෙන්. නින්ද නොනින්ද අතර කාලයේ මට බොහොම පැහැදිලිව පිළිතුර ලැබුණා. පන්සලකට යාබදව පිහිටි පැරණි පන්නයේ නිවසක්. මම ඒ නිවසට යනවා. නිවසෙ  මැද සාලයේ තියෙනවා වියන් ඇඳක්. ඔය ඇඳේ වාඩි වෙලා ඉන්න මගේ ගුරුතුමා මට ශාස්ත්‍රය කියල දෙනවා. ගුරුවරයා මුහුණ පුරා රැවුල වවාගත්තු වයස අවුරුදු පනහ හැට අතර පෙනුමක් තියෙන සන්සුන් කෙනෙක්. ඉගෙනගෙන ඉවර වෙලා ආපහු එනකොට වම් අත පැත්තෙ තියෙනවා විවෘත කාමරයක්. ඔය කාමරයෙත් තියෙනවා වියන් ඇඳක්. ඒ ඇඳේ වාඩි වෙලා ඉන්නවා ගුරුතුමාගෙ බිරිඳ. බොහොම ලාබාල පෙනුමක් තියෙන කෙනෙක්. ගුරුවරයගෙන් සමු අරන් ආපසු එන අතරෙදි ඇයගෙ ඇරයුමින් මම ඒ කාමරයට යනවා. දැඩි සමීප සම්බන්ධයක් ඇතිවෙන බව පෙන්වන සුළු සිදුවීමක් තමයි එතැනදි වෙන්නෙ. මම කාමරයෙන් ආපහු එළියට එන කොට ගුරුවරයා මුහුණට මුහුණ හමුවෙනවා. අඳුරු වාතාවරණයක් තිබුණෙ. ඒ අඳුරත් එක්ක ගුරුවරයා කිසිවක් නොදකින්න ඇති කියල මම හිතනවා. සිතුවිල්ල වැරදියි. ගුරුවරයා මගේ මුහුණ දිහා එක එල්ලේ බලාගෙන රවාගෙන ඉන්නවා. කෝපාන්විත පෙනුමක් තිබුණත් මට කිසිම දඬුවමක් කළේ නෑ. ප්‍රතික්ෂේප කළෙත් නෑ. යාබද සිද්ධස්ථානයේ මිදුලෙ ස්වාමින්වහන්සේ නමක් හා තවත් කීප දෙනෙක් සමඟ කෙරෙන සාකච්ඡාවකටත් ගුරුතුමා මාව සම්බන්ධ කරගන්නවා.  


හිතේ තිබුණු ගොඩක් ගැටලුවලට පිළිතුරු ඔන්න ඔය විදියට ලැබුණා. ගුරුවරයෙක් නොලැබෙන්න හේතුව, ගුරුවරයෙක් වෙන්න බැරි වුණු හේතුව විතරක් නෙමෙයි තවත් බොහෝ දේ දැකගත්තා.


හිත සන්සුන් කරගන්න. නිරවුල් කරගන්න. හිත එක්ක කතා කරන්න. ලෝක සත්වයාට මෙත් වඩන්න. හිතේ සමාධිය පවත්වාගන්න. තමන්ගෙ අධ්‍යාත්මය කෙරෙහි විශ්වාසය තියන්න. ප්‍රතිඵල අත්දැකීමෙන් අවබෝධ කරගත්තට පස්සෙ තමයි මේ විදියට කරන්න කියල කාලෙක ඉඳල කියන්න පටන්ගත්තෙ. මගේ ආශීර්වාදය ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ ආශීර්වාදය සෑම අවස්ථාවකදිම ඵල දරලා තියෙනව. මම ශාන්තිකර්ම කියලා කරන හැම දේකදිම අවසන් ප්‍රතිඵලය ලැබෙන්නෙ ආධ්‍යාත්මය තුළින් එන ආශීර්වාදයෙන්මයි. ඒක සත්‍යක්‍රියාවක්. 


මේ උදා වෙලා තියෙන්නෙ කාල විපත්ති සමයක්. වසංගත පැතිරෙනවා.ස්වභාවික විපත් ඇතිවෙනවා. ඔය අතරෙ නොයෙක් දෙනා පිල් බෙදිලා, කල්ලි කණ්ඩායම් හදාගෙන ගැටුම් කෝලාහල කරගන්න පෙළඹෙනවා. අනවශ්‍ය සංවාද ඇතිවෙලා ඒවා දුරදිග යනවා. හතුරො හදාගන්නවා. ඉදිරිය හරිම භයානකයි. හැමෝම කතාවට කියනවා පරිස්සම් වෙන්න කියලා. ඒ කියන්නෙ මේ වසංගතය හින්දා එහෙ මෙහෙ නොයා ගෙදරට වෙලා ඉන්න කියන එක. එහෙම පරිස්සම් වෙන්න ඕනැ. ඒ වගේම හිත පරිස්සම් කරගන්න ඕනැ. සිතුවිලි යහපත් වෙන්න ඕනැ. ස්වභාවික විපත්වලදී සත්තු බේරෙනවා. සුනාමිය වෙලාවෙ සත්තු ඉවත් වුණා. මහපොළව ඇසුරු කරගෙන ඉන්න හින්දා සත්තුන්ට දැනෙනවා වැඩියි. මිනිස්සුන්ටත් ඉස්සර දැනීම (Sense) තිබුණා.කරදර විපත් ගැන කලින් දැනුණා. ඒ අයත් ඒ කාලෙ හිටියෙ ස්වභාවධර්මය එක්ක. හිතේ ප්‍රශ්න තිබුණෙ නෑ. ජීවිත සංකීර්ණ වෙලා තිබුණෙ නෑ. ජීවිතය භාවනාවක් වගේ ගහකොළ එක්ක ගත කළා. වෙන්න  තියෙන දේවල් ස්වභාවධර්මය හෝ තමන්ගෙ හිත තමන්ට පෙන්නුවා. පෙර නිමිති විදියට සමහර දේවල් දැක්කා. සිහින මඟින් බොහෝ දේවල් පෙන්නුවා. ඒ දේවල් අද වෙන කොට මිථ්‍යාවන් බවට පත් වෙලා තියෙනව. හේතුව තමයි අද හිත්වල සාමයක්, සමාධියක්, නිරවුල් බවක්, විවේකයක් නෑ. ස්වභාවධර්මයෙනුත් ඈත් වෙලා. වෙන්න තියෙන දේ හිත හෝ ස්වභාවධර්මය පෙන්නලා දෙන්නෙ නෑ. ඉස්සර මිනිස්සුන්ට සිහිනෙන් පෙන්නන දේ හරි ගියාට දැන් අයට පේන්නෙ විකාර හීන. ඉස්සරහින් එන වාහනේ තමන්ව යට කරගෙන ගියත් දන්නෙ නෑ. ඒ තරමට හිතන්න දේවල් වැඩියි. වසංගතය නොතිබුණා නම් මේ පාර සාමාන්‍ය පෙළ ලියන ළමයි රෑ එකොළහට දොළහටත් එක්කෝ පන්තියක, එක්කෝ පාරෙ, එක්‌කෝ ටවුමෙ නැත්නම් බස් නැවතුම්පළේ.  පාසල් ළමයි ඕනෑම වෙලාවක දකින්න ලැබෙන තත්වයට පත් වුණා.  මහ රෑක ගමනක් ගියත් නිල ඇඳුමෙන් ඉන්න එක පාසල් ළමයෙක් හරි දකින්න ලැබෙන තත්වයක් ඇති වුණා. දරුවන්ටවත් ස්වභාවධර්මය සමඟ ඒකාත්මික වෙන්න අවස්ථාවක් දුන්නෙ නෑ. හොඳම හරිය එන්නෙ තව ඉස්සරහට. දීර්ඝ කාලීන දුර්භාග්‍යසම්පන්න කාලයක මුල් අදියරේ අපි තවම ඉන්නෙ. ඔය අතරෙ එතරම් භයානක නොවූ කාල සීමාවන් නැත්තෙ නෑ. නමුත් වඩාත් දරුණු, භයානක විපත්ති කාල සීමාවන්ට ඉදිරියෙදි මුහුණ දෙන්න වෙනවා.


හිත බොහොම ප්‍රභාශ්වරයි. පැහැදිලියි. පාරිශුද්ධයි. මේ හිත අවුල් වෙන්නෙ, කිළුටු වෙන්නෙ අපි ඇතුළට දාගන්න දේවල් හින්දයි. හිත කියන්නෙ පෞද්ගලික වස්තුවක් නෙමෙයි. නොයෙක් චින්තනයන් හදාගෙන අපි හිත පෞද්ගලික කරගෙන තියෙන්නෙ. "මම" කියන සංකල්පයෙන් මිදුණම මම සහ විශ්වය කියන්නෙ දෙකක් නෙමෙයි එකක්. හිත කිළුටු කරගන්න එපා. හිත ප්‍රභාශ්වරව තියාගන්න.


ජ්‍යොතිෂය කියන්නෙ වටිනා සාස්තරයක්. Sense නැති මේ කාලෙ ජ්‍යොතිෂය එදාටත් වඩා අද වටිනවා. ඒකෙන් ලැබෙන මඟ පෙන්වීම ජීවිතයට වැදගත් වෙනවා. නොයෙක් දෙනාගෙ භාවිතය විවිධයි. මගේ භාවිතය වෙනස්. තව අයගෙ තව විදියක්. ඒක ස්වාභාවිකයි. සාගරය තරම් ගැඹුරු විෂයක් එක එක්කෙනා අල්ලාගන්නා විදිය වෙනස් වෙනවා. වෙනස්කම් තිබුණත් එයින් ලැබෙන මඟ පෙන්වීම සුළු පටු නෑ.තමන්ට විශ්වාසවන්ත, හරි කෙනෙක්ගෙන් ඒ මඟ පෙන්වීම ලබාගන්න. ඒ වගේම විපත් කරදර, වාසි අවාසි, සිදුවීම් තමන්ටම දැනෙන, තමන්ගෙ හිත හෝ ස්වභාවධර්මය ඒ දේවල් තමන්ට කියන,පෙන්වන තත්වයට පත් වෙන්න. සන්සුන් වෙන්න. හිත නිරවුල් කරගන්න. විශ්වයට එකතුවෙන්න. 


සංජීව කුළුපන බණ්ඩාර