මුහුණු පොතේ ජ්‍යොතිෂ සමූහයක ඔය විදියෙ පෝස්ටුවක් තිබුණා. ඒකට ගොඩක් දෙනෙක් අදහස් දක්වලා තිබුණා. මම ජ්‍යොතිෂ සමූහවල අදහස් දක්වන්න යන්නෙ කලාතුරකින්. මුඩුක්කු නිවාස අතරින් වැටිලා තියෙන පාරවල්වල යන කොට සමහර වෙලාවට වලි ගෝරි ඇහෙනවනෙ. අන්න ඒ ගෝරිවලදි ඇහෙන වචනවලටත් වඩා අන්ත වචන භාවිතා කරන ජ්‍යොතිෂ මහත්තුරු ඉන්නවා.සමහරුන්ගෙ ආදරණිය ගෞවරනීය උපදේශකවරු තමයි. ඒ වුණාට කිසිම චාරයක් නෑ. ඉතින්, යම් කිසි සමූහයක දකින්න ලැබුණු කාරණයකට අදහසක් දක්වන්නම ඕනැ කියලා හිතුනොත් ඒ වැඩේ මගේ වෝල් එක ඇතුළෙ කරන එක තමයි මගේ සිරිත. මේකත් ඒ වගේ එකක්.
සාරථි
ජ්‍යොතිෂ විද්‍යාව පෘථග්ජන මනුෂ්‍යයා වෙනුවෙන් වූ ලෞකික ශාස්තරයකි. අධ්‍යාත්මික ශක්තිය දියුණු කළ පුද්ගලයින්ට ජ්‍යොතිෂය අවශ්‍ය නැත. මතු සිදුවන සියලු දේ ඔවුන්ට දැනෙන බැවිනි. අධ්‍යාත්මික ශක්තියෙන් තොර සාමාන්‍ය පුද්ගලයින්ට ජ්‍යොතිෂයෙන් ගත හැකි ප්‍රයෝජන අසීමිතය.
Tuesday, July 23, 2024
ගුරුමුෂ්ටි
Saturday, April 20, 2024
මිනිසා තවම ඉපදී නැත.
"සෙත් කවියක් හදාගන්න ඕනැ කරලා තියෙනවා. මහත්මයාට පුලුවන්ද මට ඒක කරලා දෙන්න ?"
"පුළුවන්...මොකක්ද කාරණය ?"
මහත්මයා,මගේ පුතා අසනීප වෙලා...එයාට ගොඩක් අමාරුයි. හඳහන බැලුවම කිව්වා ගොඩක් අපල තියෙනවා, විෂ්ණු දෙවියන්ට සෙත් කවියක් හදලා කියවන්න කියලා..."
" මට එයාගෙ නමයි, උපන් දිනයයි උපන් වෙලාවයි උපන් ස්ථානයයි සඳහන් කරලා එවන්න. කවිය ඉක්මනට හදලා දෙන්නම්"
" අනේ ලොකු පිනක් මහත්මයා...මහත්මයා මේ දවස්වල පුර අව ප්‍රශ්නයක් හින්දා සෙත් කවි හදන්න අපහසුකමක් තියෙනවද ?"
"පුර අව බලන්න පුළුවන් යැ ඔය වගේ වෙලාවක...හැකි ඉක්මනට කවිය හදලා කියවන එකනෙ කරන්න ඕනැ"
" ඒක තමයි මහත්මයා වෙන්න ඕනැ...මම මේ කිට්ටුව ඉන්න මහත්මයෙක් මුණගැහුණා. ඒ මහත්මයා කිව්වා මේ දවස්වල කීයටවත් සෙත් කවි නම් හදන්න බෑ, මේ අව පක්ෂය ගත වෙන්නෙ කියලා...සෙත් කවි පුර පක්ෂයේ හදන එකලු සම්ප්‍රදාය..."
මේ ළඟදි සිද්ද වුණු සිදුවීමක් ඔය. සමහරු සම්ප්‍රදාය රකිනවා කිකිළි බිජු රකිනවා වගේ. ලෙඩා මැරෙන්න පුළුවන් ඒත් සම්ප්‍රදායට පිටින් මොනවත් කරන්න බෑ. මේ මිනිස්සුද ? අද මිනිසුන්ගේ හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම ජ්‍යොතිෂය වැනි ක්‍ෂේත්‍රවල වගේම ආගම් තුළත් මිනිසුන්ගේ හිඟයක් තියෙනවා. ස්වභාවික මිනිසුන් නෑ. පොත් කතා කරනවා, සෘෂිවරු කතා කරනවා,ගුරුවරු කතා කරනවා සැබෑ මිනිසුන් හැංගිලා.
පන අදින ලෙඩෙක් ඉන්නවා. ලෙඩා ඉතාමත් දුර්වලයි. සිහිකල්පනාවත් ටිකක් අඩුයි. ලෙඩාව සනීප කරගන්න වෙදමහත්තයෙක්ව ගෙන්වනවා. වෙදමහත්තයා කියනවා " මුළින්ම බඩ සුද්ද වෙන්න බෙහෙත් දෙන්න ඕනැ. ඒක තමයි අපේ වෙද පරම්පරාවෙ සම්ප්‍රදාය. බඩ සුද්ද කරන්නෙ නැතුව මොනවත් කරන්න බෑ..."
"අනේ මේ මනුස්සයා දැන් හරිම දුර්වලයිනෙ වෙදමහත්තයා...බඩ සුද්ද කරන්න ගිහින් ලෙඩා මළොත් එහෙම...?"
"ලෙඩා මැරුණට කරන්න දෙයක් නෑ මුළින්ම බඩ සුද්ද කරන එක අපිට උගන්වලා තියෙන විදිය නේ...ඒක අපේ සම්ප්‍රදාය..."
ලෙඩා මළත් බඩ සුද්දයි කියන්නෙ ඔන්න ඕවට තමයි. ඉගෙනගෙන තියෙන විදිය. අරගෙන යන සම්ප්‍රදාය. ඇතුළට දාගත්තු දැනුම මිසක් එතනින් එහා "ඇත්ත මනුස්සයෙක්" නෑ.
පරාශර කතා කරනවා. නාරද කතා කරනවා. ඈපා අප්පුහමි කතා කරනවා. ක්‍රිෂ්ණමූර්ති කතා කරනවා. කෝ ඇත්ත මිනිස්සු ? ඉන්න තරමක් ඉන්නෙ මළවුන්. ස්ලෝක කටපාඩම් කරලා ඇත්ත මනුස්සයෙක් වෙන්න බෑ.ඒවා අනුන් නිර්මාණය කළ ස්ලෝක මිසක් තමන්ගෙ ස්ලෝක නෙමෙයි. පාඩම් කරලා මතක තබාගැනීමේ හැකියාව ඇති ඕනැම කෙනෙකුට ස්ලෝක පාඩම් කරන්න පුළුවන්. වැඩිපුර පොත් කියවලා මතක තියාගත්තා කියල ඇත්ත මනුස්සයෙක් වෙන්න බෑ. අහවල් ගුරුවරයාගෙන් දැනුම ගත්තා කියල ඇත්ත මනුස්සයෙක් වෙන්න බෑ. ඇත්ත මනුස්සයෙක් වෙන්න පිරිසිදු ආධ්‍යාත්මයක් තියෙන්න ඕනැ. ආධ්‍යාත්මය කඩා වැටිච්චි ව්‍යාජ මිනිස්සුන්ට පුලුවන්ද මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගැටලුවලට විසඳුම් දෙන්න ? කවදාවත් බෑ. ආරූඩ කරගෙන ඉන්න මළවුන්ට නෙමයි, ගොඩගහලා තියාගෙන ඉන්න පොත්වලට නෙමෙයි මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරන මිනිස්සු ඉන්න ඕනැ. " කොමඩි ස්ටාර්" වීමේ පුදුමාකාර උමතුවකින් කටයුතු කරන ලැජ්ජාව නැති මිනිසුන් වෙනුවට කප්පරක් ගැටළු කරදරවලට දිවා රෑ මුහුණ දෙන මිනිසුන්ට යහපත් අනාගතයක් උදෙසා සහය විය හැකි ශිෂ්ට මිනිසුන් ඉන්න ඕනැ.
දැනුම කියන්නෙ මෙවලමක්. දැනුම ආත්මය බවට පත් කරගත්තු මිනිසුන්ගේ ආධ්‍යාත්මය ඉතාමත් දුර්වලයි. ඔවුන්ට අවබෝධයක් නෑ. දැනුම විසින්, ගුරුවරයා විසින් නටවන රූකඩ වෙනුවට තමන්ගෙ ඇස් දෙකෙන් දකින්න පුළුවන් මිනිස්සු අද ඉතා විරළයි.
ජ්‍යොතිෂය ඉගෙනගන්න ආධුනික පිරිස මතක තබාගත යුතු කාරණයක්. ඔබේ ගුරුවරයා තව කාගෙන් හෝ එකතු කරගත් දැනුමක් ඔබට ලබා දෙනවා. ඊට අමතරව නොයෙක් පොත් පත්වලින් ඔබ දැනුම එකතු කරගන්නවා. මේ කිසිවකින් ඔබට අවබෝධය ඇති වෙන්නෙ නෑ. දැනුම ලබාගන්න. අවබෝධය තමන් විසින්ම ඇති කරගන්න. දැනුම භාවිතා කරන්න. අවබෝධයෙන් කටයුතු කරන්න.
සංජීව කුළුපන බණ්ඩාර
Thursday, February 1, 2024
දේශනය.
Sunday, December 17, 2023
කේන්දරයේ පස්වැන්න.
මාඕ සේතුං කුඩා කාලයේ මතකයක් ගැන මෙන්න මේ විදියට ලියල තියෙනවා. මාඕගෙ මවට ලස්සන මල් වත්තක් තිබුණා. මාඕගෙ මහලු මව බොහොම ආදරෙන් මේ මල් වත්ත බලාගත්තා. මේ මල් වත්ත මොන තරම් ලස්සනද කියනවා නම් දුර පළාත්වලින් පවා ජනයා මල් වත්ත බලන්න පැමිණියා. අනපේක්ෂිත විදියට මාඕගෙ මව අසනීප වුණා. ඇය මල් වත්ත ගැන ගොඩක් කණගාටු වුණා.තමන් ආදරෙන් රැක බලාගත්තු මල් වත්තට මොනවා වෙයිද...?
මාඕ කිව්වා "අම්මා දුක් වෙන්න එපා. මම මල් වත්ත හොඳට බලාගන්නම්..."
මාඕ උදේ සිට රෑ වෙනකල් මල් වත්ත බලාගත්තා. මාසයකින් පමණ මවට තරමක සුවයක් ලැබුණා. ඇය මල් වත්ත බලන්න ආවා. මල් වත්තෙ තත්වය දැකලා ඇය කම්පාවට පත් වුණා. සියලු ගස් වේලිලා. මල් මැලවිලා. මල් වත්ත විනාශ වෙලා ගිහින්. ඇය බොහොම දුකෙන් මාඕගෙන් ඇහුවා " මෝඩයෝ...දවස තිස්සෙම මේකේ නේද හිටියෙ...? උඹ මොනවද මේකට වෙලා කළේ ? මල් වත්ත විනාශ වෙලා...ගස් වේලිලා ගිහින්...ඔක්කොම මැරෙන්නනෙ යන්නෙ..."
මාඕ අඬන්න පටන් ගත්තා. ඔහුටත් ගොඩක් දුකයි. ඔහු දවස තිස්සෙම මහන්සි වුණා. ඒත් මොකක් හරි හේතුවකට ගස් වේලිලා. මාඕ අඬ අඬා උත්තර දෙනවා. " මම ගස්වලට හොඳට සාත්තු කළා...ආදරය කළා. ඒවා සිපගත්තා. හැම කොලයකම තිබුණු දූවිලි පිහදැම්මා. මම දන්නෙ නෑ මොකක්ද වුණේ කියලා..." මව හිනාවෙන්න පටන් ගත්තා. "උඹ නම් හරිම මෝඩයෙක් තමයි. උඹ තවම දන්නෙ නෑ මල්වල ජීවිතය තියෙන්නෙ මල්වල නෙමෙයි කියලා...කොළවල ජීවිතය තියෙන්නෙ කොළවල නෙමෙයි කියලා...මල් සිපගත්තට ඒවා පවතින්නෙ නෑ. කොළවල දූවිලි පිහදැම්මට ඒවට ජීවය ලැබෙන්නෙ නෑ. මුල්වලට සාත්තු සාත්තු කරන්න ඕනෑ"
අපිටත් තියෙනවා ප්‍රශ්නයක්. කොහෙද අපේ මුල් තියෙන්නෙ ? අපි කොහෙන්ද මුල් ඇද්දෙ ? ආදර සම්බන්ධතා ගැන පහෙන් කියැවන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට හිමි ආධ්‍යාත්මික උත්තරය දෙන්න කලින් අපිත් අපේ මුල් ගැන දැනගන්න ඕනැ.
අපි කාගෙන් හෝ ඇහුවොත් ශරිරයෙ වැදගත්ම තැන, වැදගත්ම කොටස මොකක්ද කියල එයා කියයි හිස කියලා. කාන්තවක් නම් බොහෝ විට කියයි හදවත කියලා. හිස, හදවත දෙකම වැදගත්. ඒකෙ වරදක් නෑ. ඒත් අපේ මුල් ඇදපු තැන ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි. ගසක් තම ජීවන ශක්තිය පොළවෙ ඇති මුල්වලින් ලබාගන්නවා වගේ ජීවන ශක්තිය උරාගන්නා විශේෂ ස්ථාන අපේ ශරීරයෙත් තියෙනවා. ශරීරය ජීවමානව,සජීවීව පවතින්නෙ අන්න ඒ හින්දයි. යම් කිසි දවසක මේ මූලයන් බෙලහීන තත්වයට පත් වෙන කොට ශරීරය මියැදෙන්න පටන් ගන්නවා.
දරුවෙක් මව් කුසේ ඉපැදී කාලයක් ඒ තුළම වැඩෙනවා. දරුවා මවට සම්බන්ධ වෙන්නෙ හිසින්වත් හදවතින්වත් නෙමෙයි. දරුවා සම්බන්ධ වෙන්නෙ නාභියෙන්. දරුවා නාභිය තුළින් ජීවන ශක්තිය උරාගන්නවා. මිනිස් ශරීරයේ වැදගත්ම ස්ථානය නාභිය යි. ඊට පසුව හදවතත් එතැනින් පසුව මනසත් වර්ධනය වෙනවා. ආදරය නමැති මල් හදවතේ පිපෙනවා. දැනුම නමැති මල් මනසෙ පිපෙනවා. සියල්ල සිද්ද වෙන්නෙ ඒවා මත තමයි කියල අපි හිතනවා. නමුත් අපේ මුල් පද්ධතිය, එහෙමත් නැත්නම් ජීව ශක්තිය තියෙන්නෙ නාභියෙ. එතන මල් පිපෙන්නෙ නෑ. ශරීරයේ ශක්ති මධ්‍යස්ථානය, ගුරුත්ව කේන්ද්‍රය නාභියයි.
කුණ්ඩලිනි යෝග භාවනාව තුළ නාහි මණ්ඩලය සූර්ය ජාල චක්‍රය (Solar plexus chakra) විදියට හඳුන්වනවා. නාභිය නියෝජනය වෙන්නෙ කේන්දරයෙ පස්වන්නෙන්. පස් වැන්න කියන්නෙ විශ්ව කේන්දරයෙ රවි හිමි සිංහ රාශිය. මේ පස්වැන්න තමයි සම්බන්ධතා ඇති කරන තැන. ආදරයේ මල් විකසිත වෙන්නෙ හදවතේ වුණාට සම්බන්ධකම් ඇති වෙන්නෙ නාභියෙන්.
සෘෂිවරු මොන තරම් ආධ්‍යාත්මිකද...? ඔවුන් ආධ්‍යාත්මිකව අවබෝධ කරගත් සියලු දේ අපි භාහිර මෙවලම් විදියට භාවිතා කරනවා. අපි ආධ්‍යාත්මික නෑ. අපිට ඕනැ කරන්නෙ සෘෂිවරු සොයාගත් දේවල් විතරයි. හැකි තරම් පොත්, හැකි තරම් දැනුම.
බලන්න. නියමිත කාලය ආවම, ඒ කියන්නෙ දරුවා මවගෙන් වෙන් විය යුතු කාලය පැමිණි පසුව නාභිය හරහා තිබූ සම්බන්ධය කපා දමනවා. තමන්ටම කියල ජීවිතයක් ගත කරන්න දරුවා මවගෙ ශරීරයෙන් වෙන් වෙනවා. නාභිය තුළින් ලෑබූ ජීවන ශක්තිය නතර වුණාම දරුවාගේ ශරීරයම කම්පනය වෙන්න පටන් ගන්නවා. මෙතෙක් ගලා විත් එක් වරම නතර වුණු ජීවන ශක්තිය දරුවාගේ සමස්ත පැවැත්ම විසින්ම ඉල්ලා සිටිනවා. ජීවිතය සඳහා පොර බදන දරුවා තදින් හඬන්න පටන් ගන්නවා. හැඬුවෙ නැත්නම් ප්‍රශ්නයක්. වෛද්‍යවරු කලබල වෙනවා. මොකද, ජීවන ශක්තියෙන් වෙන්වීම දරුවට දැනෙන්න ඕනැ.
නාභිය හරහා ජීවන ශක්තිය උරාගත් දරුවා නැවත මව සමඟ සම්බන්ධ වෙන්නෙ කොහොමද ? දරුවා නැවත ජීවන ශක්තිය ලබාගන්නවා මවගේ කිරිවලින්. එහෙම නම් දරුවාගේ දෙවන සම්බන්ධය හදවත සමඟ සිද්ද වෙනවා.හදවතේ උපන් මහ මෙරක් තරම් ආදරය කිරි කරලා දරුවට පොවන කොට දරුවා මවගෙ හදවතේ උණුසුම විඳගෙන, හදවතේ රිද්මයට කන් දීගෙන වැඩෙනවා. තවත් පරිපථයක් නිර්මාණය වෙලා තියෙන අපූරුව බලන්න. දරුවෙක් මවගේ කිරිවලින් පෝෂණය නොවන්නේ නම් ඒ දරුවා සදාකල් දුර්වල වෙනවා. බොහොමයක් බටහිර රටවල දරුවන් ඉතාමත් ඉක්මණින් මව් කිරිවලින් වෙන් කිරීමේ ප්‍රතිඵල විදියට විරෝධාකල්පවලින් යුතු ළමයින් සමාජයට එකතු වෙනවා..තුවක්කුව අතට අරගෙන දෙමාපියන්ටත් වෙඩි තබා පාසලට ගොස් ගුරුවරුන්ට, සහෝදර සිසු සිසුවියන්ට පවා වෙඩි තබන අවස්ථා ගැන වරින් වර අපට අසන්නට ලැබෙනවා. පෙරදිග රටවලත් මේ අවාසනාවන්ත තත්වය සිදු වෙමින් පවතිනවා. පසළොස්වක පොහොය දවසෙ පවා වයසක අම්මව තාත්තව මහමගට ගෙනිහින් අතරමං කරන උගත් පොහොසත් දරුවො ගැන අපට අහන්නට ලැබෙනවා. මිනිස්සු බනිනවා " මුන් දරුවොද...?" ඒ දරුවන්ගේ හදවත වර්ධනය කිරීමෙහිලා දෙමාපියන්ගේ දායකත්වය ලැබුණාද නැද්ද අපි දන්නෙ නෑ. කිරි බොන වයසෙ දරුවො පවා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ගාල් කරන කොට, යන්තම් වචන උච්චාරණය කරන කොට පෙර පාසලට යොමු කරලා මනස පුරවන කොට ඔය වගේ දේවල් සිදුවීම අරුමයක් නෙමෙයි.
හිතන තරම් වේලාසනින් නෙමෙයි. ඇති තරම් මව් කිරි බීමෙන් අනතුරුව දරුවාට මවගේ කිරිවලිනුත් වෙන් වෙන්න සිද්ද වෙනවා. එතනින් පස්සෙ මොකද වෙන්නෙ ? නාභියට සම්පූර්ණ කරගන්න නොහැකි වුණු කාර්යයන්, හදවතට සම්පූර්ණ කරගන්න නොහැකි වුණු කාර්යයන් මනසෙන් සම්පූර්ණ කර ගැනීම ආරම්භ වෙනවා.මෙන්න මේ අවස්ථාවෙ තමයි බොහෝ ගැටළු නිර්මාණය වෙන්නෙ. සියලු බර, සියලු කාර්යයන් මනසට පටවන ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. මනසෙන් ආදරය කරන කෙනෙකුගේ ආදරය ව්‍යාජයි. ආදරය හදවතේ කාර්යයක් මිසක් මනසේ කාර්යයක් නෙමෙයි. ශ්‍රේෂ්ඨතම ජීවන ශක්තිය තමයි ලිංගිකත්වය කියන්නෙ. ලිංගිකත්වය මනසෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකෙ මධ්‍යස්ථානය තමයි නාභිය. අද ලෝකය පුරා මනස්වලට ලිංගිකත්වය ඇතුල් වෙලා. දවසේ පැය විසිහතර පුරාම ලිංගිකත්වය ගැන සිතන තත්වයක් ඇති වෙලා. ලිංගිකත්වයේ සැබෑ අපූර්වත්වය, ප්‍රීතිය මිනිසාගෙන් දුරස් වී යමින් පවතිනවා.
ජීවිතයේ ඉතාමත් වැදගත් මධ්‍යස්ථාන තුනක කාර්යය තනි මනස වෙත පවරන ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. සමාජයේ බහුතරයක් අඩ සිහියෙන් ක්‍රියාත්මක වෙනවා.
ජීවනයේ මධ්‍යස්ථානය නාභියයි. හැඟීම් දැනීමේ මධ්‍යස්ථානය හදවතයි. සිතීමේ මධ්‍යස්ථානය මනසයි. මේ එක් එක් මධ්‍යස්ථානය නියමිත රිද්මයට සුසර කිරීමේ මාර්ගය භාවනාවයි.
එක්තරා ජ්‍යොතිෂ සමූහයකට කෙනෙක් යොමු කරනවා තමන් දුටු සිහිනයක් ගැන ප්‍රශ්නයක්. ජ්‍යොතිෂවේදියෙක් පිළිතුරු දෙනවා. "අහවල් පොතේ අහවල් පරිච්ඡේදයෙ අහවල් පිටුවෙ ඔය සම්බන්ධයෙන් විස්තර කරලා තියෙනවා..." මොන ලැජ්ජා නැති උත්තරයක්ද... මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට පොත බලලා උත්තර දෙන මිනිස්සු. කෙනෙක්ගෙ ප්‍රශ්නයකට අනුන්ගෙ උත්තර සපයන මිනිස්සු. මෙන්න මේ අය තමයි දක්ෂයො විදියට සැළකන්නෙ. මනස වැඩියෙන් පුරවා ගත්තු ඒත් තමන්ගෙම කියල උත්තරයක් නැති මිනිස්සු. අපිට තියෙන්නෙ අනුන්ගෙ දැනුම වුණාට, තියෙන්නෙ අනුන්ගෙ උත්තර වුණාට මමත්වයේ අඩුවක් නෑ. ලොකුකමේ අඩුවක් නෑ. සමහරුන්ගෙ චන්ඩිකමේ අඩුවකුත් නෑ.
කේන්දරය තුළ හදවතේ මධ්‍යස්ථානය සහ ජීවනයේ මධ්‍යස්ථානය එහෙමත් නැත්නම් නාභි මධ්‍යස්ථානය එක ළඟ පිහිටලා තියෙනවා. ඊළඟට අභියෝගාත්මක එහෙමත් නැත්නම් බාධක ස්ථානයක් පසු කර විවාහ ස්ථානය පිහිටලා තියෙනව. බොහොම අපූරු, එමෙන්ම හේතු යුක්ති සහගත පෙළගැස්මක්. ඒ පෙළගැස්ම බොහෝ දේවල් අවබෝධ කරලා දෙනවා.
සංජීව කුළුපන බණ්ඩාර
Tuesday, December 5, 2023
වැම්පයර්ස්ලා
Sunday, December 3, 2023
රාහු මහ දශාවෙදි මොකද වෙන්නෙ?
Thursday, November 9, 2023
භූත ආත්ම සමඟ සන්නිවේදනය ට භාෂාවක් උවමනා ද?
භූත ආත්ම සමඟ සන්නිවේදනය ට භාෂාවක් උවමනා ද?
මේ කාන්තාව කාලයක් වරමක් හිමිව සිටි අයෙක්. සාස්තර කීම, අසනීප වුණු අයට ප්‍රතිකාර කිරීම වගේ දේවල් කරගෙන ගිහින් තිබුණා. හදිසියේ මතු වුණු ගැටලුවකදී එය තමන්ට විසඳාගැනීමට නොහැකිව ඇය වෙනත් ඇදුරෙක් හමුවට ගිහින් තියෙනවා. එතැනදි ඇදුරා මේ කාන්තාවගෙ ඥාතියා හිර කරලා. එතැන් පටන් මේ කාන්තාව රෝගී තත්වයට පත් වුණා. ඥාතියා ශරීරයට ආවත් ඇදුරාගේ බන්ධනය හින්දා හරියට යමක් කියාගන්න බෑ. එක්තරා අවස්ථාවකදි මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මගෙන් ඉල්ලීමක් කළා මේ ගැටළුව විසඳලා බිරිඳ සුවපත් කරලා දෙන්න කියල.
ශාන්තිකර්මය කරන දවස. හවස් යාමයේ සියල්ල ලෑස්ති කරගෙන මල් ආසනය සකස් කරගෙන වැඩ කටයුතු කරගෙන යනවා.ඒ අතරතුර රාත්‍රියේ එක්වරම මේ කාන්තාව දණ ගාගෙන වැඳගෙන මල් ආසනය දිහාවට එනවා. ඇවිත් බොහොම ආයාචනාත්මකව නමුත් බොහොම සද්දෙන් කතා කරන්න පටන්ගත්තා.
"මාව එලවන්න එපා...බන්ධනය කපලා නිදහස් කරන්න..මම යන්න කැමති නෑ. මම කලින් හිටියා වගේම මේ අයත් එක්ක ඉන්නවා. මාව එලවන්න හදන්න එපා..."
"මට පුලුවන්ද ඔය බන්ධනේ කපන්න ?" මම එහෙම ඇහුවෙ මොකද කියන්නෙ කියල බලන්න.
"ඔබවහන්සෙට පුළුවන්"
"මොකෙන්ද මම ඕක කපන්න ඕනැ ?"
"කාලි මන්තරෙකින් කපන්න ඕනැ"
"හරි...කාලිගෙන්ද කාගෙන්ද කියන එක අදාල නෑ. මම සුදුසු විදියට වැඩේ කරන්නම්...එතකල් සද්ද නැතුව ඉන්න." (මොකද, බන්ධනය කපන්න මට මන්තරයක් අවශ්‍ය නෑ)
හොඳමයි කියල ඥාතියා ශරීරයෙන් පිට වුණා. කාන්තාවගේ පවුලේ අයගෙ අදහස වුණේ කරදරයක් නැතුව ඉන්නවා නම් බන්ධනෙන් නිදහස් කරලා ඥාතියාට ඉන්න හරින්න කියන එකයි. ඒ මොහොතේ ඥාතියා කාන්තාව හරහා කළ ප්‍රකාශය එතරම් සංවේදියි. නමුත් හොඳම සුදුසුම පිළිවෙත ඥාතියා බන්ධනයෙන් නිදහස් කරනවා මෙන්ම මේ කාන්තාවගෙන්ද ඉවත් කිරීම බව මම අවබෝධ කරගෙන හිටියා.
සන්නිවේදනය හා සම්බන්ධ වැදගත්ම අවස්ථාව තමයි මේ. පසුදා අලුයම. ප්‍රේත තටුව කැප කරන්න සූදානම් වෙන අවස්ථාව. කාන්තාව සහ පවුලේ සියලු දෙනා මා අසළට වෙලා බලාගෙන ඉන්නව. මේ වෙලාවෙ මම වචන භාවිතා කරන්නෙ නෑ. සිතුවිලි සන්නිවේදනය පමණයි සිද්ද වෙන්නෙ. වෙන්න ඕනැ සියලු දේ සිතුවිලි හරහා මම ඥාතියාට දැනුම් දුන්නා. වඩාත් හොඳම දේ නිදහස් වෙලා යන එක මිසක් තව දුරටත් ඔය තත්වයෙන් ඉන්න එක නෙමෙයි. ඔහොම ඉන්න ගියොත් කල්ප කාලාන්තරයක් ඔය විදියට ඉන්න වෙයි. කාවවත් අල්ලාගෙන ඉන්න එපා. අල්ලාගැනීම කියන්නෙ දුකක්. ඒ හින්දා අතඅරින්න.
"චූටෝ මට ඔය සුරුට්ටුව පත්තු කරලා ගනින්..." කාන්තාව කිව්වා.
කාන්තාවගේ ස්වාමිපුරුෂයා ප්‍රේත තටුවෙ තිබුණු සුරුට්ටුව පත්තු කරලා කාන්තාව අතට දුන්නා. ඇය සුරුට්ටුව දෙතුන් පාරක් තදින් උරලා විසිකළා. අනතුරුව බොහොම හැඟීම්බරව, දීර්ඝ කතාවක් ආරම්භ කරන ආකාරයට ඥාතියා කතා කරන්න පටන් ගත්තා. තමන් මෙපමණ වර්ෂ මාස දින ගණනක් මේ කාන්තාව ඇසුරේ ඇගේ පවුලේ උදවියට උපකාර කරමින් සිටි බවත්, අනපේක්ෂිතව සිර වුණු බන්ධනයෙන් නිදහස් වුණු බවත් පැවසුවා. එමෙන්ම, තව දුරටත් කිසිවකට බැඳී කටයුතු කිරීමට අදහසක් නොමැති බවත්, ඥාති කාන්තාව අතහැර කුසල් වැඩිය හැකි ස්ථානයකට(ප්‍රසිද්ධ සිද්ධස්ථානයක නම සඳහන් කරමින්) යන බවත්, නැවත කිසිදා නොපැමිණෙන බවත් සඳහන් කළා. මා සිතුවිලි හරහා සන්නිවේදනය කළ සියලු දේ ඉතාමත් හොඳින් පිළිගත් ආකාරය බලන්න. ඒ අමනුස්ස ආත්මය තුළ පෙර දින රාත්‍රියේ පැවතී තෘෂ්ණාව අලුයම වන විට තුරන්ව ගිය ආකාරය බලන්න. කාන්තාවගේ සැමියා ඇතුළු පවුලේ සාමාජිකයින් කඳුළු සලමින් කතාවට සවන් දෙමින් ඉන්නවා. කතාව අවසන් කර මොහොතක් නිහඬව සිටි ඥාතියා මාගේ විදානයට අනුව කාන්තාවගේ ශරීරයෙන් ඉවත් වුණා. ඇද වැටුණු කාන්තාව අසල සිටි අය අල්වා ගත්තා. ඥාතියා සිර වුණු දා පටන් ඇගේ ශරීරයේ තිබුණු දැඩි අපහසුතාවන්, පීඩාවන් ඒ මොහොතේම නැති වෙලා ගියා.
මේ අමනුස්සයා එහෙමත් නැත්නම් ඥාතියා වුණේ කාන්තාවගෙ සැමියාගේ පියා. ඔහු බාල පුතාට සුරතලයට කතා කරලා තියෙන්නෙ චූටා කියල. මේ ඥාතියා අංශභාගය හේතුවෙන් කාලයක් එක්තැන් වී ඉඳලා තියෙනවා. ඒ කාලෙ පවුලෙ කවුරුවත් ඔහුට බුලත්විට,සුරුට්ටු වගේ දේවල් දීලා නෑ. චූටා තමයි අනිත් අයට හොරෙන් සුරුට්ටුවක් දල්වලා දීලා තියෙන්නෙ. ඒ කාලෙත් සුරුට්ටුවක් ඕනැ වුණාම "චූටෝ සුරුට්ටුවක් පත්තු කරලා දීපන්" කියල ඔය විදියටම කියනවලු.
ඉතින් මේ සිදුවීමත් එක්ක විශේෂයෙන් කිව යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි ආධ්‍යාත්මික ලෝකය තුළ භාෂවකින් වැඩක් නෑ කියන කාරණය. භාෂාවක් අවශ්‍ය වෙන්නෙ භෞතික ලෝකයට විතරයි. ආධ්‍යාත්මික තලයේදී සන්නිවේදනය සිද්ද වෙන්නෙ සිතුවිලි හරහා පමණයි.
මේ වැඩේ ඇදුරෙක් කරන්නෙ ඔය විදියට නෙමෙයි. ඇදුරෙකුට, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා පරිදි කට්ටඬි මහත්තයෙකුට යාදිනි,කන්නලව්,කවි, බෙර, කුකුල්ලු, නැටුම් ආදී නොයෙක් අංග එක්ක ලොකු තොවිලයක් කරන්න සිද්ද වෙන්න පුළුවන්. නමුත් අධ්‍යාත්මික තලයේ කෙනෙකුට පිරිපහදු කරගත් සිතෙන් ඒ කියන්නෙ සමාධියෙන් සියල්ල නිවැරදිව කරන්න පුළුවන් ප්‍රේත තටුව වුවත් නොදී අමනුස්සයෙක් ඉවත් කරන්න පුළුවන්. නමුත් අපේ සංස්කෘතියට අනුව වගේම මනුෂ්‍යත්වය අනුවත් කිසිවෙකුට නොසළකා ඉවත් කිරීම සදාචාරසම්පන්න නෑ. ඔවුන්ට දෙන දානයක්, සංග්‍රහයක් විදියට ප්‍රේත තටුවක් පිරිනමනවා.
යක්ෂ,ප්‍රේත,බහිරව බලවේග සමග පමණක් නෙමෙයි දෙවි දේවතාවුන් සමඟ සන්නිවේදනයටත් ස්තෝත්‍ර,කවච,කවි,යාදිනි අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නෙ සමාධිය පමණයි.
සංජීව කුළුපන බණ්ඩාර.