සූර්ය කේන්දරය සහ චන්ද්‍ර කේන්දරය.

අද කාලයේ ජ්‍යොතිෂවේදීන් 
පලාපල කථනයේදී 
සූර්ය කේන්දරය සහ චන්ද්‍ර කේන්දරය 
අමතක කරන්නේ ඇයි ?

    ඉර හඳ නැතුව ලෝකයක් තියෙන්න පුළුවන්ද ? සත්ව ජිවිත වලට, ගහ කොළ වලට ඉර හඳ දෙකෙන් එල්ල වන්නේ සුළු පටු බලපෑමක් නෙමෙයි. ඉර හඳ දෙකෙන් විතරක් මොන තරම් අනාවැකි කියන්න පුළුවන් ද ? පෙර විසූ මිනිසුන් ඉර හඳ ගැන මොන තරම් දේවල් දැනගෙන හිටියද.  වී වපුරන කොට, ගෙයක් හදන කොට, පැළයක් හිටවන කොට, ගහක් කපන කොට, ගෙයක් සෙවිලි කරන කොට පුර අව භේදය ගැන, චන්ද්‍රයා ගේ ගමන ගැන, තිථිය ගැන සැළකිලිමත්  වුණා. වේලාව මැන ගැනීමට ඔරලෝසු නොතිබුණු කාලයේ ජනතාව වේලාව මැනගත්තේ සූර්යයා අදාල කරගෙනයි. දවල් දොළහ කියන්නේ හරියටම ඉර මුදුන් වුණු වේලාවයි. ඒ කාලයේ වේලාව මැන ගැනීම ස්වභාව ධර්මයට අනුකූලව සිදුකළා.වඩදිය බාදිය ඇතිවන්නේ චන්ද්‍රයා නිසා යි. ඇදුම, පීනස වැනි සෙම් අසනීප පසළොස්වක පොහොය ආසන්න වන විට උත්සන්න වන බව බොහෝ දෙනා දන්නා කාරණයක්. විශ්වයේ  ඇතිවීම, පැවතීම, නැතිවීම සිදුවන්නේ සුර්යයා නිසා යි. සූර්යයා සහ චන්ද්‍රයා රාහු ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට බුදුන් වහන්සේ චන්ද පිරිත සහ සූර්ය පිරිත දේශනා කළ බව සඳහන් වෙනවා.
    ඉර හඳ දෙකේ වැදගත්කම දැනගෙන සිටි පෙර විසූ ජ්‍යොතිෂවේදීන් ඉර හඳ දෙකට විශේෂ තැනක් දුන්නා. කේන්දරයක් සාදන විට සූර්ය කේන්දරය සහ චන්ද්‍ර කේන්ද්‍රය අනිවාර්යයෙන්ම සටහන් කළා. පලාපල කථනයේදී සූර්ය කේන්දරය සහ චන්ද්‍ර කේන්දරය අදාල කර ගත්තා. අද කාලයේ පලාපල කථනයේදී සූර්ය කේන්දරය සහ චන්ද්‍ර කේන්දරය අදාල කරගන්නේ කීයෙන් කී දෙනාද..
      ග්‍රහ මණ්ඩලයේ සිටින ප්‍රධානම ග්‍රහයින් දෙදෙනා වන හිරු සඳු දෙදෙනා පුද්ගල ජීවිතයට එල්ල කරන්නේ සුළු පටු බලපෑමක් නෙමෙයි. ඉතාමත් බලවත් ග්‍රහ යෝග මේ ග්‍රහයො දෙන්නාගෙන් යෙදෙනවා. ජන්ම කේන්දරයක් තුළ බැලූ බැල්මට පෙනෙන අසුබ ග්‍රහ යෝග සූර්ය කේන්දරයට හෝ චන්ද්‍ර කේන්දරයට අනුව භංග වී යන අවස්ථාත් තිබෙනවා. ජ්‍යොතිෂය මහා සාගරයක් වගෙයි කියන්නේ ඔන්න ඔය හින්දයි. 
   පුද්ගලයෙකු ගේ එඩිතරකම, සෘජු බව, පෞරෂය යහපත් තත්වයක පැවතීමට රවි ග්‍රහයා ගේ  යහපත් බලපෑම අතිශයින්ම වැදගත් වෙනවා. විශේෂයෙන් පුරුෂයෙකු ගේ යහපත් පෞරෂයට සූර්යයා ගේ බලපෑම හේතු වෙනවා. තනතුරු, පදවි, තානාන්තර ලබා දෙමින් කෙනෙකු ඉහළම තලයකට ඔසවා තැබීමට රවි සමත් වෙනවා. දුර්වල වූ රවි පුද්ගලයෙකු පෞරෂය හීන, දුර්වලයෙකු බවට පත් කරනවා. පුරුෂයින් ගේ ජීවිත වලට රවි ගේ බලපෑම දැඩිව එල්ල වෙනවා. රවි ලෝකයට ප්‍රාණය, උෂ්ණය හා ආලෝකය ලබා දෙන ග්‍රහයායි. ඇතැම් විට සූර්ය රශ්මිය හේතුවෙන් ග්‍රහයින් අස්ථ වන අවස්ථා මෙන්ම සූර්යයා හේතුවෙන් ග්‍රහයින් ගේ බලය වර්ධනය වන අවස්ථා ද තිබෙනවා.
       ගැහැණු පිරිමි දෙදෙනෙකු ගේ ආකර්ෂණයට ද හිරු සඳු බලපානවා. කේන්දර දෙකක් විවාහය සඳහා ගැළපීමේදී හිරු සඳු දෙදෙනාගේ පිහිටීම ගැන සැළකිලිමත් විය යුත්තේ ඒ හින්දයි.
       හිරු ගෙන් උණුසුම ලැබෙනවා වගේම සඳු ගෙන් සිසිලස ලැබෙනවා. හිරු ගෙන් දැඩි ගතියත් සඳු ගෙන් මුදු මොළොක් ගතියත් ලැබෙනවා. හිරු ගෙන් ස්ථිර ගතියත් සඳු ගෙන් චංචල ගතියත් ලැබෙනවා. මේ ග්‍රහයො දෙන්නා ගේ සමබරතාවය බොහෝ සෙයින් වැදගත් වෙනවා. හිරු ශරීරයේ පිත නියෝජනය කරනවා. සඳු ශරීරයේ සෙම නියෝජනය කරනවා. ලෝකයේ පැවත්ම රඳා පවතින්නේ සමබරතාවය හේතුවෙනුයි. ගැහැණු පිරිමි, රැය දවාල, අඳුර ආලෝකය, උණුසුම සිසිලස ආදී වශයෙන් වූ සමබරතාවය රඳා පවතින්නේ හිරු සඳු දෙදෙනා හේතුවෙනුයි. පුද්ගල ජීවිතයක සමබරතාවය ද හිරු සඳු දෙදෙනාගේ පිහිටීම අනුව තීරණය වෙනවා.
     පුද්ගලයෙකු ගේ චෛතසික තත්වය ප්‍රකාශවත් වන්නේ චන්ද්‍රයා මගිනුයි. චන්ද්‍රයාගේ බලය කේන්දරයක් තුළ තිබිය යුතුම යි. සූර්යයා ගේ ආලෝකය ඒකාකාර වූවත් චන්ද්‍රයාගේ ආලෝකය ඒකාකාර නොවෙයි. පුර අව වශයෙන් හා තිථි භේදයෙන් චන්ද්‍රයාගේ ආලෝකය වෙනස් වෙනවා. චන්ද්‍රයා දුර්වලව පාපකාරී ලෙස පිහිටීම තුළින් පුද්ගලයෙකු වංක චපල අයෙකු බවට පත් වෙනවා. කාන්තා කේන්දරයක චන්ද්‍රයා යහපත් ලෙස පිහිටිය යුතුමයි. කාන්තාවකගේ මල්වරය, පිළිසිඳ ගැනීම, ඔසප්වීම ආදී සුවිශේෂ සිදුවීම් චන්ද්‍රයාගේ බලපෑමට නතු වෙනවා. 
   ඇතැම් කේන්දර තුළ බැලූ බැල්මට ධන යෝග, නිවාස යෝග, වාහන යෝග ආදිය නොපෙනුණද චන්ද්‍ර කේන්දරය හා සූර්ය කේන්දරය තුළ එවැනි යෝග සටහන්ව පවතිනවා. අද කාලයේ ජ්‍යොතිෂවේදීන් සූර්ය කේන්දරයේ හා චන්ද්‍ර කේන්දරයේ වැදගත්කම පිළිබඳව විග්‍රහ නොකිරීම විශාල අඩුපාඩුවක්. ජ්‍යොතිෂය හදාරන ආධුනිකයින් මෙම කේන්දර පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා.
  
           ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය


   දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර.