ගුරු මාරුව 2015

වසර දොළහ කට පසු ගුරු සිංහ රාශියට පැමිණෙයි.

      2015. 07. 14 වැනි කුජ දින පෙ:ව 06. 20 ට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා රවි ට අයත් සිංහ රාශියට ගමන් කරනවා. මෙසේ සිංහ රාශියට ගමන් කරන ගුරු 2016. 08. 11 දින තෙක් එහි රැඳී සිටිනවා. සිංහ රාශියේ අධිපති රවි රාජ්‍යකාරක රවි ග්‍රහයා ගුරුට මිත්‍ර ග්‍රහයෙක් වන අතර සිංහ රාශිය ගුරුට යහපත් රාශියක් ලෙස සැළකෙනවා. ගුරු මාරුව හේතුවෙන් ඇතැම් ලග්න හිමියන්ට සුබ පලත් ඇතැම් ලග්න හිමියන්ට අසුබ පලත් හිමිවෙනවා. කෙසේවෙතත් තමන්ගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බලපෑම්, තමන් ගත කරන දශා අන්තර් දශා ආදිය අනුව මේ පවසන පලාපල වෙනස් විය හැකියි. ඒ, ග්‍රහ මාරුවක් හේතුවෙන් ලග්න වලට එල්ල වන බලපෑම් විග්‍රහ කිරීමේදී සියලු දෙනාගේම ජන්ම කේන්දර පරීක්ෂා කිරීමක් ජ්‍යොතිෂවේදීන්ට සිදු කළ නොහැකි බැවිනි.
 ගුරු මාරුව ඒ ඒ ලග්න වලට බලපාන ආකාරය විමසා බලමු.
        මේෂ ලග්නය.
   සටන්කාමී කුජ ග්‍රහයාට අයත් මේෂ ලග්න හිමියන්ට ගුරු මාරුව සුබදායකයි. ගෙදර දොරේ දියුණුවක් කලඑළියක් ඇති වෙනවා. තත්වය උසස් වෙනවා.සිතට සතුට සැනසුම ඇති වෙනවා. අඩාලවී තිබුණු වැඩ කටයුතු නැවත ආරම්භ කරන්න හැකි වෙනවා. ගේදොර දේපළ සම්බන්ධ කටයුතු වලට අත ගැසීමට ඉතාමත් යහපත් කාලයක්. වාසනා බලය වර්ධනය වෙනවා. සතුරන් පරාජයට පත්වෙනවා. අන්‍යයන් ගෙන් උදව් උපකාර හිමිවෙනවා. කරන රැකියා කටයුතු, ව්‍යාපාර දියුණු වෙනවා. ඥාති සම්බන්ධතා වර්ධනය වෙනවා.අලුත් හිත මිත්‍රාදීන් ඇසුරට ලැබෙනවා. ධන ලාබ හිමිවෙනවා. 
   නිවසේ සතුට සොම්නස ඇතිවෙනවා. නිවස තුළ ප්‍රීතිදායක උත්සවයක් පැවැත්වීමට කරුණු යෙදෙනවා. දරුවන් නිසා සතුටුවීමට කරුණු සැලසෙනවා. දරු පල බලාපොරොත්තුවෙන් සිටින අයට වාසනාවන්ත දරුවන් ලැබෙනවා.තම බලය ගෞරවය වර්ධනය වන අතර අන්‍යයන් අතර කැපී පෙනෙන තත්වයක් ඇතිවෙනවා.ඉඩකඩම් ගේදොර සම්බන්ධයෙන් ගැටළු ආරවුල්, නීති ප්‍රශ්න පැවතුණා නම් ඒවා තමන්ට වාසිදායක අයුරින් විසඳෙනවා.
     ප්‍රේම සම්බන්ධතා සාර්ථක වන අතර විවාහ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත හැකි වටපිටාවක් සැකසෙනවා. අඹු සැමියන් අතර අසමගිකම් ආරවුල් පැවතුණා නම් ඒවා දුරුවී සමගිය ඇතිවෙනවා.
        අධ්‍යාපන කටයුතු වල යෙදෙන මේෂ ලග්න හිමියන්ට ඉතාමත් සුබදායකයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ හිමිවෙනවා. අලුත් දේවල් ඉගෙන ගැනීමට ලැබෙනවා.

     වෘෂභ  ලග්නය.
    සිකුරු ට අයත් වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරයේ සිව්වැනි භාවයට ගුරු ග්‍රහයාගේ පැමිණීම සුබදායක නෑ. සිතේ සතුට සැනසුම අඩුවෙනවා. ස්ථිර තීන්දුවකට බැසීමට අපහසු වෙනවා. තමන්ගේ බලය ගෞරවය අඩුවෙනවා. පළපුරුද්දෙන් යුතුව කරගෙන ආ වැඩකටයුතු පවා වැරදී යාමට ඉඩ තිබෙනවා. ඉතාමත් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළයුතු කාලයක්. දැනුවත්ව මෙන්ම නොදැනුවත්වද තමන් අතින් වැරදි සිදුවිය හැකි කාලයක්. ගෙදර දොරේ සතුට සමගිය බිඳ වැටෙනවා. සිතට නිතර කනස්සලු කළකිරීම් ඇතිවෙනවා.  
    ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. ධන හානි, පාඩු, අලාභ වලට ඉඩ තිබෙනවා. ගේදොර , දේපළ සම්බන්ධයෙන් යම් නීති ප්‍රශ්නයක් මතුවීමටද ඉඩ තිබෙනවා. රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු ආදියේ පසුබෑමක් ඇතිවෙනවා. උද්යෝගය උනන්දුව අඩුවෙනවා. ඥාතීන් සමග විරසකතා ඇතිවෙන්න පුළුවන්. තමන් හොඳින් ඇසුරු කළ හිතවත් අයෙක් නිසා රැවටීමකට හසුවීමට ඉඩ තිබෙනවා. උපායශීලී ඥානය අඩුවෙනවා. පහත් අය සමග සම්බන්ධතා ඇතිවීමට වගේම ඒ හේතුවෙන් ගැටළු කරදර ඇතිවීමටත් ඉඩ තිබෙනවා.
     මෙම කාලසීමාව විවාහ කටයුතු සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. යුග ජිවිත ගත කරන වෘෂභ ලග්න හිමියන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. යුග දිවියේ සමගිය බිඳ වැටෙන්න පුළුවන්. නිවසේ වාසය සිතට ප්‍රිය නොවීමටද ඉඩ තිබෙනවා.

     මිථුන ලග්නය.
   මිථුන ලග්න හිමියන්ගේ කේන්දරයේ තුන් වැනි භාවයට ගුරු පැමිණීම එතරම් සුබදායක නෑ. සතුට සහනය අඩුවෙනවා. කරන කියන කටයුතු වලින් බලාපොරොත්තු වන තරමේ තෘප්තියක් සතුටක් ලබාගන්න අපහසු වෙනවා. උත්සාහයේ හා මහන්සියේ තරමට ප්‍රථිපල නොලැබී යනවා. අධික වියදම්, ධන හානි ආදියට ඉඩ තිබෙනවා. කරන කියන කටයුතු වලට බාධක අවහිර එල්ල වෙනවා.නිශ්පල ගමන් යෙදෙනවා. චෝදනා අපහාස එල්ල වීමට ඉඩ තිබෙනවා.
    පවුලේ අය සමග ගැටුම් ආරවුල් ඇතිවීමට ඉඩ තිබෙනවා. දියුණුවට බාධක එල්ල වෙනවා. හිත මිතුරන් දුරස් විය හැකියි. සමීප අයෙක් මිය යාමටද ඉඩ තිබෙනවා. 
  ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. අසනීපයක් පැවතුණේ නම් එය උත්සන්න වීමට ඉඩ තිබෙනවා.
   මානසික විවේකය අඩුවෙනවා. සිතන්නට කාරණා බහුල වෙනවා. තම තත්වය පහළ වැටීමටත් පිළිගනිම අඩුවීමටත් ඉඩ තිබෙනවා. වරින්වර සිතට කනස්සලු ගති ඇතිවෙනවා. යුග ජීවිත ගතකරන මිතුන ලග්න හිමියන් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. යුග දිවියේ සතුට සමගිය අඩුවෙන්න පුළුවන්. නිවසේ කල්ගෙවීම සිතට ප්‍රිය නොවීමටද ඉඩ තිබෙනවා.
    
 කටක ලග්නය.

    කටක ලග්න හිමියන්ගේ කේන්දරයේ දෙවැනි භාවයට ගුරු පැමිණීම සුබදායකයි. ලැබීම් වර්ධනය වෙනවා. විශේෂ ධන ලාබ හිමිවෙනවා. අතේ මිටේ මුදල් ගැවසෙන කාලයක්. සිතට සතුට සැනසුම ඇතිවෙනවා. කරන කියන කටයුතු සාර්ථක වෙනවා. උත්සාහයේ හා මහන්සියේ තරමට සිතට හරියන ප්‍රථිපල ලැබෙනවා.හිත මිතුරු සම්බන්ධතා වර්ධනය වන අතර ඔවුන්ගෙන් උපකාරද හිමිවෙනවා. නොයෙක් උත්සව ආදියට සහභාගී වීමට ලැබෙනවා.
    රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. ගෙදර දොරේ සතුට සමගිය වර්ධනය වෙනවා. තත්වය උසස් වෙනවා. සතුරු බලපෑම් පැවතුණා නම් ඒවා දුරු වෙලා යනවා. අන්‍යයන් අතර කැපී පෙනෙන තත්වයක් ඇතිවෙනවා. විවාහ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඉතාමත් සුබදායක කාලයක්.ප්‍රේම සම්බන්ධතා සාර්ථක වෙනවා. 
    ශරීර සෞක්‍යය යහපත් වෙනවා. සැප විඳින්නට ලැබෙනවා. අලුත් වැඩ කටයුතු, ව්‍යාපාර කටයුතු ආදියට අතගැසීමට බලාපොරොත්තුවෙන් සිටියා නම් එම බලාපොරොත්තු ඉටු කරගන්න ලැබෙනවා.
  අධ්‍යාපනය ලබන අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා.තරඟ විභාග ආදියෙන් ජය අත්වෙනවා.
   
සිංහ ලග්නය.

 රවි හිමි සිංහ ලග්න හිමියන්ගේ කේන්දරයේ ලග්න භාවයට හෙවත් පළමු පළමු භාවයට ගුරු පැමිණෙනවා. ගුරු ලග්නයේ ගමන් කරන කාලය අසුබදායක කාලයක් ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මානසික සතුට සහනය අඩුවීම, නිතර කනස්සලු කළකිරීම් ඇතිවීම, උත්සාහයේ හා මහන්සියේ තරමට ප්‍රථිපල නොලැබීම, කරන කියන කටයුතු අඩාලවීම ආදී පීඩාවන් මතුවෙනවා. කෙසේ වෙතත් සිංහ ලග්නයට ගුරු මිත්‍ර ග්‍රහයෙක් බැවින් තද බල අසුබ බලපෑම් එල්ල වන්නට ඉඩක් නෑ. කරන කියන කටයුතු වලදී වෙනදාට වඩා සැළකිලිමත් වීම වැදගත් වෙනවා. අන්‍යයන් වෙනුවෙන් ඇපවීම්, අන්‍යයන්ගේ ණය ගණුදෙනු වලට මැදිහත් වීම් ආදියෙන් වැළකී සිටීම සුබදායක වෙනවා.
   තමන් හොඳින් ඇසුරු කළ අයෙක් හේතුවෙන් රැවටීමකට හසු වීමට ඉඩ තිබෙනවා.අන්‍යයන් විශ්වාස කිරීමේදී කල්පනාකාරී විය යුතුයි. අවදානම් සහිත ආයෝජන වලින් වැළකිය යුතුයි. 

  ගෞරවය අඩුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි. නිවසේ කල් ගෙවීම සිතට ප්‍රියදායක නොවන තත්වයක් මතුවෙන්න පුළුවන්. විවාහ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ වලට යොමුවීමට මෙම කාලසීමාව සුබ නෑ. ප්‍රේම සම්බන්ධතා වලට බාධක අවහිර එල්ල වෙනවා. යුග ජිවිත ගතකරන සිංහ ලග්න හිමියන් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. යුග දිවියේ සතුට සැනසුම බිඳ වැටෙන්න ඉඩ තිබෙනවා.
   මෙම කාලසීමාව තුළ ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් ද සැළකිලිමත් විය යුතුයි. කල් අල්ලන අසනීපයක් මතුවීමට ඉඩ තිබෙනවා.

කන්‍යා ලග්නය.

බුධ හිමි කන්‍යා ලග්න හිමියන්ගේ කේන්දරයේ දොළොස්වැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු දොළොස් වැනි භාවයේ ගමන් කරන කාලය තුළ ආර්ථිකය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. වියදම් ඉහළ යනවා. සමීප අය වෙනුවෙන්ද වියදම් කිරීමට සිදුවෙන්න පුළුවන්. ගමන් බහුල වෙනවා. මෙම කාලය විදේශ ගමන්, විදේශ රැකියා සඳහා යොමුවීමට සුබයි.
 රහස් සම්බන්ධතා ඇතිවීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් මෙම කාලය තුළ සිත් තැවුල් ඇතිවීමට ඉඩ තිබෙනවා. රහස් වියදම් යෙදෙනවා. පුණ්‍ය කටයුතු වලට සම්බන්ධවෙන්න ලැබෙනවා. අසත්‍ය  චෝදනා එල්ල වීමට ඉඩ තිබෙනවා. අන්‍යයන් විශ්වාස කිරීමේදී කල්පනාකාරී විය යුතුයි. ඥාතීන් සමග විරසකතා ඇතිවෙන්න පුළුවන්. හිත මිත්‍රාදීන් සමග සම්බන්ධතා දුරස් වන්නටද ඉඩ තිබෙනවා.

 ස්ථාන වෙනස්වීමක් සිදුවීමට විශේෂ ඉඩක් පවතිනවා. මෙම කාලය රාගාධික කාලයක් වන අතර ඒ හේතුවෙන් නොසුදුසු බැඳීම් ඇතිවීමටද ඉඩ තිබෙනවා. දුර දිග නොබලා කරන කටයුතු හේතුවෙන් ගැටළු පැටළිලි මතුවීමට ඉඩ තිබෙනවා. වෙහෙසකර ගමන් බහුලව යෙදෙන්න පුළුවන්. ශරීර සෞක්‍යය සම්බන්ධයෙන්  සැළකිලිමත් විය යුතුයි.මානසික නිරවුල්තාවය වරින්වර බිඳ වැටෙනවා.

තුලා ලග්නය.


 සිකුරු හිමි තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ එකොළොස් වැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු ග්‍රහයා එකොළොස් වැනි භාවයේ ගමන්කිරීම සුබදායක බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා.අසනීපයක් පැවතුණා නම් එයින් සුවය ලැබෙනවා. අහිමි වී ගිය දේවල් නැවත හිමිවෙනවා. දුරස් වූ අය නැවත තමන්ට සමීප වෙනවා. ආදායම් වර්ධනය වෙනවා.කරන රැකියා ව්‍යාපාර දියුණු වෙනවා.
   නව හිත මිතුරු සම්බන්ධතා ඇතිවෙනවා. හිත මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර හිමිවෙනවා.කරන කියන කටයුතු  හිතට හරියන විදියට සාර්ථක වෙනවා. සිතේ සතුට සැනසුම ඇතිවෙනවා. තැන්පත් ධනය වර්ධනය වෙනවා. අන්‍යයන් අතර කැපී පෙනෙන තත්වයක් ඇතිවෙනවා. සැප පහසුව සැලසෙනවා.   විවාහ කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඉතාමත් සුබදායකයි. 
 අධ්‍යාපනය ලබන අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. තරඟ විභාග වලින් ජය අත් වෙනවා. උද්යෝගය, උනන්දුව, මානසික ප්‍රබෝධය ගුරු සිංහ රාශියේ කල් ගෙවන කාලය පුරා පවතිනවා.
    දරුපල බලාපොරොත්තුවෙන් සිටින තුලා ලග්න හිමියන්ට පින්වත් දරු සම්පත් හිමිවෙනවා.

වෘශ්චික ලග්නය.


 වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරයේ දහ වැනි භාවයට ගුරු පැමිණෙනවා. ගුරු දහ වැන්නේ ගමන් කරන කාලය අසුබදායක කාලයක් ලෙස සැළකෙනවා. දියුණුව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග වලට බාධක අවහිර එල්ල වෙනවා. රැකියා, ව්‍යාපාර කටයුතු ආදියේ යම් අඩාල ගතියක් ඇතිවෙනවා.උත්සාහයේ හා මහන්සියේ තරමට හිතට හරියන ප්‍රථිපල නොලැබී යනවා.ගමන් බිමන් බහුල වෙනවා. ගමන් වලින්ද බලාපොරොත්තුවන ප්‍රයෝජන ලබාගැනීමට අපහසුවෙනවා. අන්‍යයන් සමග ආරවුල් ඇතිවීමටද ඉඩ තිබෙනවා.
   ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. දණහිස්, දෙපා, තුනටිය ආශ්‍රිත වේදනා පීඩා මතුවීමට ඉඩ තිබෙනවා. 
  යම් චෝදනාවක් එල්ලවීම හේතුවෙන් සිතට තද බල කළකිරීමක් ඇතිවෙන්න පුළුවන්. ගෞරවයට හානි සිදු විය හැකියි. අන්‍යයන්ගෙන් ඈත් වී සිටීමට පෙළඹිය හැකියි. හිතේ උද්යෝගය උනන්දුව අඩුවෙනවා. මෙම කාලය රැකියා වෙනස් කිරීමට සුබදායක නෑ.
  ප්‍රේම සම්බන්ධතා වලට බාධක එල්ලවෙනවා. විවාහ කටයුතු සම්බන්ධයෙන් ස්ථිර අවසන් තීරණයකට එළඹීමට අපහසු වෙනවා.
   තත්වයට නොගැළපෙන කටයුතු කෙරෙහි සිත පෙළඹීමට ඉඩ තිබෙනවා. ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ගේදොර දේපළ සම්බන්ධයෙන් ගැටළු පැටළිලි මතුවීමටද ඉඩ තිබෙනවා. බලාපොරොත්තුවක් ඉටු කරගැනීමට සාමාන්‍ය ප්‍රමාණයට වඩා උත්සාහ කිරීමට සිදුවෙනවා.

     ධනු ලග්නය.

 ගුරු හිමි ධනු ලග්න හිමියන්ගේ නව වැනි භාවයට හෙවත් භාග්‍යස්ථානයට ගුරු පැමිණෙනවා.ධනු ලග්නය ගුරු ගේ ලග්නයක් බැවින් ගුරු මාරුව ධනු ලග්න හිමියන්ට විශේෂයෙන් වැදගත් වෙනවා.ගුරු නව වැනි භාවයේ ගමන් කරන කාලය සුබදයක කාලයක් බව සඳහන් වෙනවා. වාසනා බලය මතුවී පලදෙනවා. පුණ්‍ය කටයුතු වල යෙදීමට මෙන්ම වන්දනා ගමන් වල යෙදීමටත් අවස්ථා උදාවෙනවා.උසස් උගත් අය හඳුනා ගැනීමත්, ඇසුරු කිරීමටත්, ඔවුන්ගෙන් උදව් උපකාර ලැබීමටත් හැකිවෙනවා. තත්වය උසස් වෙනවා.
   අධ්‍යාපන කටයුතු වල යෙදෙන ධනු ලග්න හිමියන්ට මෙම කාලය ඉතාමත් සුබදායකයි. අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවෙනවා. තරඟ විභාග වලින් ඉහළ ජයග්‍රහණ අත්වෙනවා. විදේශ අධ්‍යාපනය සඳහා යොමුවීමටද මෙම කාලය ඉතාමත් සුබදායකයි.
    පවුලේ සාමාජිකයින්ට ද සුබ පල උදා වෙනවා. විශේෂයෙන් පියාට සුබ පල එල්ල වෙනවා. උරුම හිමිකම් හිමිවීමටද ඉඩ තිබෙනවා.
   රැකියාවේ උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවෙනවා. විශේෂ වරප්‍රසාද හිමිවෙනවා. අලුත් වැඩකටයුතු වලට අත ගැසීමට වගේම අලුත් ව්‍යාපාර ඇරඹීමටද මෙම කාලය ඉතාමත් සුබදායකයි. කරන ව්‍යාපාර දියුණුවට පත්වෙනවා.    විශේෂ ලාභ හිමිවෙනවා.ප්‍රේම සම්බන්ධතා සාර්ථක වෙනවා. විවාහ කටයුතු ඉටු කරගැනීමට අවශ්‍ය වටපිටාව සැකසෙනවා. 
   මෙම කාලය තුළ අධ්‍යාත්මික කටයුතු වලින් විශේෂ පිහිටක් ලැබෙනවා. අධ්‍යාත්මික කටයුතු වල නියැලෙන අයට මෙම කාලය ඉතාමත් සුබදායකයි.
     
  මකර ලග්නය.

  මකර ලග්න හිමියන්ගේ කේන්දරයේ අට වැන්නට ගුරු ගමන් කරනවා. ගුරු අට වැන්නේ ගමන් කිරීම සුබදායක නොවන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. තමන්ටත් අඹු දරුවන්ටත් අපල බලපෑම් එල්ලවෙනවා.

   ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. අර්ශස් වැනි දැවිලි උෂ්ණ අසනීප මතුවෙන්න පුළුවන්. මානසික සතුට ප්‍රබෝධය අඩුවෙනවා.වෙහෙසකර ගමන් යෙදෙනවා.කරන කියන කටයුතු වලට බාධක අවහිර එල්ල වෙනවා.හදිසි අනතුරු වලට ඉඩ තිබෙන කාලයක් බැවින් අවදානම් සහිත කටයුතු වලදී කල්පනාකාරී විය යුතුයි.
    අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත සිතුවිළි ඇතිවෙනවා. විශේෂ බලාපොරොත්තුවක් කඩවීමටද ඉඩ තිබෙනවා.නිතර සිතට කනස්සලු, කළකිරීම් ඇතිවෙනවා.ඥාතීන් සමග හෝ ඇසුරු කරන හිත මිත්‍රාදීන් සමග ආරවුල් ඇතිවෙන්න පුළුවන්. කතාවෙන් පාඩු සිදු විය හැකියි. තත්වය පහත වැටෙන්නට ඉඩ තිබෙනවා. නීති ප්‍රශ්නයක් මතුවීමට ඉඩ තිබෙන බැවින් සැළකිලිමත් විය යුතුයි.
      අවදානම් සහිත ආයෝජන වලින් වැළකිය යුතුයි. පාඩු අලාභ වලට ඉඩ තිබෙනවා.ණයට දුන්නොත් ආපසු නොලැබී යා හැකියි. අන්‍යයන්ගේ ණය ගනු දෙනු වලට මැදිහත් වීමෙන්ද වැළකිය යුතුයි.
   යම් යම් කටයුතු කෙරෙහි ප්‍රමාණය ඉක්මවා ඇබ්බැහි වීම හේතුවෙන් නොයෙක් ගැටළු පැටළිලි මතුවිය හැකියි. වරින් වර සිතට භය ගතියක් ඇති විය හැකියි. රහස් සතුරු බලපෑම් ඇතිවීමටද ඉඩ තිබෙනවා.සැප පහසුව අඩු වෙනවා. හවුල් කටයුතු හේතුවෙන් ගැටළු මතු වීමට ඉඩ තිබෙන බැවින් ඒවායින් වැළකිය යුතුයි.
   සිතේ නොසන්සුන් ගති ඇතිවෙනවා. නොසුදුසු බැඳීම් හේතුවෙන් ආත්ම ගෞරවයට හානි සිදු වීමටද ඉඩ තිබෙනවා.

  කුම්භ ලග්නය.

 ශනි හිමි කුම්භ ලග්න හිමියන්ගේ කේන්දරයේ විවාහස්ථානය වූ හත් වැන්නට ගුරු ගමන් කරනවා.ගුරු හත් වැනි භාවයේ ගමන් කරන කාලය තුළ කුම්භ ලග්න හිමියන්ට සුබ පල අත් වෙනවා. මංගල යෝග උදා වෙනවා. විවාහ කටයුතු ඉටුකරගන්න ලැබෙනවා.සිතට ගතට සැප සතුට හිමි වෙනවා. ශරීර සෞක්‍යය යහපත් වෙනවා.කරන කියන කටයුතු සාර්ථක වෙනවා. කරදර පැවතුණා නම් ඒවා දුරුවී යනවා.
   අධ්‍යාපන කටයුතු වල යෙදෙන කුම්භ ලග්න හිමියන්ට විශේෂ සුබ පල අත් වෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. තරඟ විභාග වලින් ජය අත් වෙනවා. අලුත් දේවල් ඉගෙනගැනීමට ලැබෙනවා.
    ප්‍රීතිදායක උත්සව වලට සහභාගීවීමට ලැබෙනවා. නිවසේද උත්සවයක් සංවිධානය විය හැකියි. හිත මිතුරු සම්බන්ධතා වර්ධනය වෙනවා. අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. ගෙදර දොරේ සතුට සැනසුම ඇතිවෙනවා. ගෙවල් සෑදීමට මෙම කාලය ඉතා සුබදායකයි. ලැබීම් වර්ධනය වෙනවා.
      රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. අලුත් රැකියා කෙරෙහි යොමු වීමට මෙන්ම අලුත් ව්‍යාපාර වලට අත ගැසීමටත් මෙම කාලය සුබදායකයි. නඩු හබ පැවතුණා නම් ජය අත් වෙනවා. ගේදොර දේපළ සම්බන්ධ ගැටළු කරදර පැවතුණා නම් ඒවා දුරුවී යනවා. විදේශ ගමන්, විදේශ රැකියා කෙරෙහි යොමු වීමට සුබදායකයි.
  අහිමිව තිබුණු දේවල් නැවත ලැබෙනවා. උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවෙනවා.යුග ජීවිතය තුළ සතුට සැනසුම ඇතිවෙනවා. නිතර සතුටින් කල් ගෙවන්නට ඉඩකඩ ලැබෙනවා.

 මීන ලග්නය.

  මීන ලග්න හිමියන්ගේ කේන්දරයේ හය වැනි භාවයට ගුරු ගමන් කරනවා. ගුරු ග්‍රහයා මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති ග්‍රහයා වූවත් ගුරු හය වැන්නේ ගමන්කිරීම සුබදායක නෑ. මෙම කාලය තුළ ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. සිතට නිතර කනස්සලු කළකිරීම් ඇතිවෙනවා. සිත එකළස් කරගෙන කටයුතු කිරීමට අපහසු වෙනවා. කරන කියන කටයුතු වලට බාධක අවහිර එල්ල වෙනවා. ස්ථාන වෙනස් විමකටද ඉඩ තිබෙනවා.
    තමන්ට ඉතා සමීපව සිටි අයෙක් තමන් ගෙන් ඈත් වෙනවා.ඥාති හිත මිත්‍රාදීන් සමග විරසකතා ඇතිවෙන්න ඉඩ තිබෙනවා. අන්‍යයන් සමග කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. බලාපොරොත්තු ඉටුකර ගැනීමට බොහෝ වෙහෙසීමට සිදුවෙනවා. බොහෝ විට උත්සාහයේ හා මහන්සියේ තරමට ප්‍රථිපල නොලැබී යනවා.රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු අඩාලවීමට ඉඩ තිබෙනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉක්මන් තීන්දු තීරණ වලට බැසීමෙන් වැළකිය යුතුයි.
 ප්‍රේම සම්බන්ධතා වලට බාධක අවහිර එල්ල වෙනවා. යුග ජිවිත ගත කරන මීන ලග්න හිමියන් බුද්ධිමත්ව හා ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. යුග දිවියේ සමගිය බිඳ වැටීමටත් ගෘහ ජීවිතයේ සතුට තෘප්තිය අඩු වීමටත් ඉඩ තිබෙනවා. 
  අධ්‍යාපන කටයුතු වල නියැලෙන මීන ලග්න හිමියන් සිත එකළස් කරගැනීමට උත්සාහ කළ යුතුයි. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උත්සාහය උනන්දුව වර්ධනය කරගත යුතුයි.
     සිතට ගතට සැප සනීපය, මානසික විවේකය අඩු වෙනවා. නිතර සිතට බිය මුසු සිතුවිළි මතුවීමට ඉඩ තිබෙනවා. අන්‍යයන්ට නොපෙනෙන ආකාරයේ කනස්සලු ගති ඇතිවෙනවා.