Wednesday, December 31, 2025

ඔහු නැවත උපදිනු ඇතැයි කිසිවෙකු විශ්වාස නොකළහ.

 


ඔහු නැවත උපදිනු ඇතැයි කිසිවෙකු විශ්වාස නොකළහ.


හදිසි අනතුරකට ලක්ව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට සිටි අයෙකි. අනතුර සිදුව තිබුණේ පසු ගිය ඔක්තෝබර් මස අවසන් දිනයේය. නිවැසියන් මා වෙත පැමිණ පැවසුවේ රෝගියා බරපතළ තත්වයේ පසු වන බවත් ජීවිතය රැක ගැනීම කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි යැයි වෛද්‍යවරු පවසන බවත් ය. ඔවුන් ඉල්ලා සිටියේ කෙසේ හෝ ඔහුගේ ජීවිතය රක දෙන ලෙසය.


දින කීපයකින් ඔහු දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ හැකි විය. කෙසේ වෙතත් ඔහුගේ කතා කිරීමේ හැකියාව ඒ වන විට අහිමි වී තිබුණි. කතා කිරීමේ හැකියව නැවත නොලැබෙනු ඇතැයි වෛද්‍යවරු පවසා තිබුණි. නිවැසියන් තීරණය කළේ රෝගියා නිවසට ගෙනැවිත් වැඩි දුර ප්‍රතිකාර කිරීමටය. නිවසට රැගෙන ආ රෝගියා දින කීපයකින් කතා කරන්නට විය. නිවැසියන් පවසන පරිදි ඒ අවස්ථාවද විශේෂය. එය සෙනසුරාදා දිනයකි. රෝගියා කතා කරන්නට පටන් ගෙන ඇත්තේ නිවැසියන් කපුටන්ට එළඟිතෙල් මුසු කිරිබත් දමන්නට සැරසෙන විට ය.


රෝගියා වෙනුවෙන් නිවසට පැමිණ ආශීර්වාද කරන්නැයි මා හට දන්වන විට වර්ෂාව ඇද වැටී එම ප්‍රදේශය ගංවතුරින් යට වී තිබුණි. 2025 නොවැම්බර් 30 දින උදෑසන එම නිවසට යාමට සිදු වූයේ ඔරුවකිනි. එදිනම සවස් වන විට ඇඳෙහි වාඩි වීමට හැකි වූ බව දැනගන්නට ලැබුණි. මේ වට විට යමක් අල්ලාගෙන නැගිට ඇවිදීමට ද හැකියාව ලැබී ඇත.


ඔබේ රෝගී ඥාතියා හිතවතා මා වෙත රැගෙන එන්නැයි දැනුම් දීමට ලියූවක් නොවන බව සළකන්න. මම සුව කිරීමේ මෙහෙයන් සිදු නොකරමි.  රෝහල්වල සිටින සියලු රෝගීන් සුව කරන්නැයි අසිහියෙන් සිටින යමෙක් පැවසීමට ඉඩ තිබේ. අවබෝධයෙන් කියවන සීමිත පිරිසකගේ අවදානය සඳහා පල කරන සටහනකි.


සංජීව කුළුපන බණ්ඩාර 

Tuesday, December 30, 2025

තිදෙනෙකුට බලපෑම් කළ භූතයෙක්.

 

පළමුව මෙහි ඇති හඬ පටයට සවන් දෙන්න. කතා කරන්නේ පාසල් වියේ පසුවන දැරියකි.


සිද්ධිය ඒ ආකාරයෙන්ම භාෂාවට නැඟීම දුෂ්කර නමුත් මවකට දියණියකට සහ ඥාති දියණියකට එල්ල වු ඉතා සංකීර්ණ භූත බලපෑමක් ගැන සත්‍ය විස්තරයක් මෙලෙස ඔබ හමුවේ තබමි. සිදුවීමට සම්බන්ධ වන්නේ මහනුවර ප්‍රදේශයේ මවක් දියණියක් සහ තවත් ඥාති දියණියකි.


දියණිය අසාමාන්‍ය කෝපයකින් මව සමග ගැටුම් ඇති කරගන්නා බවත් පිහියක්  ගෙන මව ඝාතනය කිරීමට උත්සාහ කරමින් සිටින බවත් දින කීපයකට පෙර මා වෙත දැනුම් දුන්නේ ඇයගේ පියාය. හැකි ඉක්මණින් ඇයගේ ඡායාරූපයක් එවන්නැයි ඔහුට පැවසුවෙමි.  එවන ලද ඡායාරූප දුටු සැණින් මා හට කාරණය අවබෝධ විය. දැරියගේ ස්වභාවික පෙනුම ඡායාරූපවල නොතිබුණි. කුමන හෝ බලවේගයක පාලනයට ඇය හසු වී ඇති බව පෙනෙන්නට තිබුණි. ඒ බව පියාට ද පැහැදිලි කළෙමි. එදින රෑ දැරිය විසින් දෙමාපියන්ට බොහෝ දේ විස්තර කර තිබුණි. හඬ පටයෙහි ඇත්තේ ඉන් කොටසකි. නම් ගම් සඳහන් කරන බැවින් ඇයගේ ප්‍රකාශය සම්පූර්ණ වශයෙන් ඉදිරිපත් කිරීමට අපහසුය. උද්ගතව ඇති තත්වය සමනය කිරීම සඳහා පසු ගිය 27 වෙනිදා මා මහනුවර පිහිටි එම නිවසට යන විට අමනුෂ්‍ය දෝෂය දැරියගෙන් ඉවත්ව මවගේ ශරීරයට ඇතුල් වී තිබුණි.  එය  එක් අවස්ථාවක ඔවුන්ගේ ඥාති දියණියකගේ ශරීරයට ද ඇතුල් වී තිබුණි. 

අමනුෂ්‍ය බලපෑම මොවුන් වෙත එවා තිබුණේ මෙම තරුණ මවගේ ඥාති පිරිසකි. ඒ මොවුන් භුක්ති විඳින දේපළ අත් කරගැනීම සඳහාය. මවගේ ශරීරයට ඇතුල් වුණු අමනුෂ්‍යයා ඒ සියලු තොරතුරු පවසා සිටියේ සියලු දෙනා මවිතයට පත් කරමිනි. වරෙක අමනුෂ්‍යයා මව තුලින් කතා කර පැවසුවේ අත බැඳ තිබෙන පිරිත් නූල තිබියදී තමන්ට අපහසුතාවයක් දැනෙන බැවින්  එය කඩා ඉවත් කරන ලෙසය. එම අමනුෂ්‍යයා ද වසර ගණනකට පෙර මිය ගිය ඥාතියෙකි. 

තමන්ට භාර කර ඇත්තේ මෙම මව මරා දැමීම බව පැවසූ විට මා ඇසුවේ නොමැරෙන කවුරුන් හෝ සිටීද..?.මැරෙන මිනිසුන් මරා දමන්නේ කුමකටද ..? යන්න ය. කට්ටඬින්ගේ ගොටු පිදේනි ආදියට රැවටී පාපකාරී කොන්ත්‍රාත් ඉටු නොකර කල්ප කාලාන්තරයක් ප්‍රේත භවයේ දුක් නොවිඳ කුසලයට නැඹුරු වන්නැයි පැවසුවෙමි. අමනුෂ්‍යයා ඉවත් විය. 

මේ සරලව ඉදිරිපත් කළේ දින ගණනාවක් පුරා සිදු වුණු නොයෙක් අද්භූත සිදුවීම් කන්දරාවක් සහිත සිද්ධියකි.

සංජීව කුළුපන බණ්ඩාර