මුහුණු පොතේ ජ්‍යොතිෂ සමූහයක ඔය විදියෙ පෝස්ටුවක් තිබුණා. ඒකට ගොඩක් දෙනෙක් අදහස් දක්වලා තිබුණා. මම ජ්‍යොතිෂ සමූහවල අදහස් දක්වන්න යන්නෙ කලාතුරකින්. මුඩුක්කු නිවාස අතරින් වැටිලා තියෙන පාරවල්වල යන කොට සමහර වෙලාවට වලි ගෝරි ඇහෙනවනෙ. අන්න ඒ ගෝරිවලදි ඇහෙන වචනවලටත් වඩා අන්ත වචන භාවිතා කරන ජ්‍යොතිෂ මහත්තුරු ඉන්නවා.සමහරුන්ගෙ ආදරණිය ගෞවරනීය උපදේශකවරු තමයි. ඒ වුණාට කිසිම චාරයක් නෑ. ඉතින්, යම් කිසි සමූහයක දකින්න ලැබුණු කාරණයකට අදහසක් දක්වන්නම ඕනැ කියලා හිතුනොත් ඒ වැඩේ මගේ වෝල් එක ඇතුළෙ කරන එක තමයි මගේ සිරිත. මේකත් ඒ වගේ එකක්.
ජ්‍යොතිෂ විද්‍යාව පෘථග්ජන මනුෂ්‍යයා වෙනුවෙන් වූ ලෞකික ශාස්තරයකි. අධ්‍යාත්මික ශක්තිය දියුණු කළ පුද්ගලයින්ට ජ්‍යොතිෂය අවශ්‍ය නැත. මතු සිදුවන සියලු දේ ඔවුන්ට දැනෙන බැවිනි. අධ්‍යාත්මික ශක්තියෙන් තොර සාමාන්‍ය පුද්ගලයින්ට ජ්‍යොතිෂයෙන් ගත හැකි ප්‍රයෝජන අසීමිතය.
Tuesday, July 23, 2024
ගුරුමුෂ්ටි
Saturday, April 20, 2024
මිනිසා තවම ඉපදී නැත.
"සෙත් කවියක් හදාගන්න ඕනැ කරලා තියෙනවා. මහත්මයාට පුලුවන්ද මට ඒක කරලා දෙන්න ?"
"පුළුවන්...මොකක්ද කාරණය ?"
මහත්මයා,මගේ පුතා අසනීප වෙලා...එයාට ගොඩක් අමාරුයි. හඳහන බැලුවම කිව්වා ගොඩක් අපල තියෙනවා, විෂ්ණු දෙවියන්ට සෙත් කවියක් හදලා කියවන්න කියලා..."
" මට එයාගෙ නමයි, උපන් දිනයයි උපන් වෙලාවයි උපන් ස්ථානයයි සඳහන් කරලා එවන්න. කවිය ඉක්මනට හදලා දෙන්නම්"
" අනේ ලොකු පිනක් මහත්මයා...මහත්මයා මේ දවස්වල පුර අව ප්‍රශ්නයක් හින්දා සෙත් කවි හදන්න අපහසුකමක් තියෙනවද ?"
"පුර අව බලන්න පුළුවන් යැ ඔය වගේ වෙලාවක...හැකි ඉක්මනට කවිය හදලා කියවන එකනෙ කරන්න ඕනැ"
" ඒක තමයි මහත්මයා වෙන්න ඕනැ...මම මේ කිට්ටුව ඉන්න මහත්මයෙක් මුණගැහුණා. ඒ මහත්මයා කිව්වා මේ දවස්වල කීයටවත් සෙත් කවි නම් හදන්න බෑ, මේ අව පක්ෂය ගත වෙන්නෙ කියලා...සෙත් කවි පුර පක්ෂයේ හදන එකලු සම්ප්‍රදාය..."
මේ ළඟදි සිද්ද වුණු සිදුවීමක් ඔය. සමහරු සම්ප්‍රදාය රකිනවා කිකිළි බිජු රකිනවා වගේ. ලෙඩා මැරෙන්න පුළුවන් ඒත් සම්ප්‍රදායට පිටින් මොනවත් කරන්න බෑ. මේ මිනිස්සුද ? අද මිනිසුන්ගේ හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම ජ්‍යොතිෂය වැනි ක්‍ෂේත්‍රවල වගේම ආගම් තුළත් මිනිසුන්ගේ හිඟයක් තියෙනවා. ස්වභාවික මිනිසුන් නෑ. පොත් කතා කරනවා, සෘෂිවරු කතා කරනවා,ගුරුවරු කතා කරනවා සැබෑ මිනිසුන් හැංගිලා.
පන අදින ලෙඩෙක් ඉන්නවා. ලෙඩා ඉතාමත් දුර්වලයි. සිහිකල්පනාවත් ටිකක් අඩුයි. ලෙඩාව සනීප කරගන්න වෙදමහත්තයෙක්ව ගෙන්වනවා. වෙදමහත්තයා කියනවා " මුළින්ම බඩ සුද්ද වෙන්න බෙහෙත් දෙන්න ඕනැ. ඒක තමයි අපේ වෙද පරම්පරාවෙ සම්ප්‍රදාය. බඩ සුද්ද කරන්නෙ නැතුව මොනවත් කරන්න බෑ..."
"අනේ මේ මනුස්සයා දැන් හරිම දුර්වලයිනෙ වෙදමහත්තයා...බඩ සුද්ද කරන්න ගිහින් ලෙඩා මළොත් එහෙම...?"
"ලෙඩා මැරුණට කරන්න දෙයක් නෑ මුළින්ම බඩ සුද්ද කරන එක අපිට උගන්වලා තියෙන විදිය නේ...ඒක අපේ සම්ප්‍රදාය..."
ලෙඩා මළත් බඩ සුද්දයි කියන්නෙ ඔන්න ඕවට තමයි. ඉගෙනගෙන තියෙන විදිය. අරගෙන යන සම්ප්‍රදාය. ඇතුළට දාගත්තු දැනුම මිසක් එතනින් එහා "ඇත්ත මනුස්සයෙක්" නෑ.
පරාශර කතා කරනවා. නාරද කතා කරනවා. ඈපා අප්පුහමි කතා කරනවා. ක්‍රිෂ්ණමූර්ති කතා කරනවා. කෝ ඇත්ත මිනිස්සු ? ඉන්න තරමක් ඉන්නෙ මළවුන්. ස්ලෝක කටපාඩම් කරලා ඇත්ත මනුස්සයෙක් වෙන්න බෑ.ඒවා අනුන් නිර්මාණය කළ ස්ලෝක මිසක් තමන්ගෙ ස්ලෝක නෙමෙයි. පාඩම් කරලා මතක තබාගැනීමේ හැකියාව ඇති ඕනැම කෙනෙකුට ස්ලෝක පාඩම් කරන්න පුළුවන්. වැඩිපුර පොත් කියවලා මතක තියාගත්තා කියල ඇත්ත මනුස්සයෙක් වෙන්න බෑ. අහවල් ගුරුවරයාගෙන් දැනුම ගත්තා කියල ඇත්ත මනුස්සයෙක් වෙන්න බෑ. ඇත්ත මනුස්සයෙක් වෙන්න පිරිසිදු ආධ්‍යාත්මයක් තියෙන්න ඕනැ. ආධ්‍යාත්මය කඩා වැටිච්චි ව්‍යාජ මිනිස්සුන්ට පුලුවන්ද මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගැටලුවලට විසඳුම් දෙන්න ? කවදාවත් බෑ. ආරූඩ කරගෙන ඉන්න මළවුන්ට නෙමයි, ගොඩගහලා තියාගෙන ඉන්න පොත්වලට නෙමෙයි මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරන මිනිස්සු ඉන්න ඕනැ. " කොමඩි ස්ටාර්" වීමේ පුදුමාකාර උමතුවකින් කටයුතු කරන ලැජ්ජාව නැති මිනිසුන් වෙනුවට කප්පරක් ගැටළු කරදරවලට දිවා රෑ මුහුණ දෙන මිනිසුන්ට යහපත් අනාගතයක් උදෙසා සහය විය හැකි ශිෂ්ට මිනිසුන් ඉන්න ඕනැ.
දැනුම කියන්නෙ මෙවලමක්. දැනුම ආත්මය බවට පත් කරගත්තු මිනිසුන්ගේ ආධ්‍යාත්මය ඉතාමත් දුර්වලයි. ඔවුන්ට අවබෝධයක් නෑ. දැනුම විසින්, ගුරුවරයා විසින් නටවන රූකඩ වෙනුවට තමන්ගෙ ඇස් දෙකෙන් දකින්න පුළුවන් මිනිස්සු අද ඉතා විරළයි.
ජ්‍යොතිෂය ඉගෙනගන්න ආධුනික පිරිස මතක තබාගත යුතු කාරණයක්. ඔබේ ගුරුවරයා තව කාගෙන් හෝ එකතු කරගත් දැනුමක් ඔබට ලබා දෙනවා. ඊට අමතරව නොයෙක් පොත් පත්වලින් ඔබ දැනුම එකතු කරගන්නවා. මේ කිසිවකින් ඔබට අවබෝධය ඇති වෙන්නෙ නෑ. දැනුම ලබාගන්න. අවබෝධය තමන් විසින්ම ඇති කරගන්න. දැනුම භාවිතා කරන්න. අවබෝධයෙන් කටයුතු කරන්න.
සංජීව කුළුපන බණ්ඩාර