Monday, February 23, 2015

( 2009 මාර්තු 08 වැනිදා ඉරිදා වාසනා පුවත්පතේ පළවූ මාගේ ලිපියකි )

ඓෂ්වර්යා අභිෂේක් යුවළට තිරුපති කෝවිලේ පැය පහක පූජාවක්.
ලෝකයේ ලස්සනම යුවතියටත් විවාහ දෝෂ.
දෙදෙනාටම කඩහන්දි දෝෂයක්.

     ඓෂ්වර්යා  රායි කියන්නේ ලෝකය පුරා ප්‍රසිද්ධ කාන්තාවක්. හිරිමල් යොවුන් වියේදිම ලොව පුරා ප්‍රචලිත වුණු මේ වාසනාවන්ත යෞවනියගේ ජිවන සහකරු වුණෙත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඒ, සුප්‍රසිද්ධ සිනමාවේදී අමිතාබ් භච්චන් ගේ පුතණුවන් වූ අභිෂේක් භච්චන්.  නොයෙක් ආන්දෝලනාත්මක පුවත් ඒ මේ අත පැතිර යද්දී 2007 වසරේ අප්‍රේල් 20 වැනි සිකුරාදා මේ දෙන්නා විවාහ වුණා.
     විවාහයට කලින් ඉඳන්ම ඓෂ්වර්යා නොයෙක් කෝවිල් ගානේ ගිහින් පූජා පවත්වන්න ගත්තා. තිරුපති කෝවිල, රාම්ජානකි කෝවිල වගේ ප්‍රසිද්ධ කෝවිල් කරා ගොස් විශේෂ පුද පූජාවන්ට සහභාගී වුණා.ඒ තමන්ගේ පවුලේ සාමාජිකයිනුත් සමගයි. මේ අය මේ තරම් පුද පූජා පවත්වන්නේ මොකද කියලා බොහෝ දෙනා විපරම් කරන්න වුණා. ඓෂ්වර්යාගේ කේන්දරයේ  තදබල විවාහ දෝෂයක් යෙදී තිබෙන බව ඉන්දියානු ජ්‍යොතිෂවේදීන් දැනගත්තා. කොහොම වුණත් භච්චන් පවුලේ ජ්‍යොතිෂ උපදේශක චන්ද්‍රමෞලි උපාධ්‍යාය තුමා හැරෙන්නට කේන්දර ගැන නිවැරදි තොරතුරු සෙසු ජ්‍යොතිර්වේදීන්ට හරියට දැනගන්න ලැබුණේ නෑ. ඓෂ්වර්යාගේ උපන් දිනයට අදාල කරුණු මත අනුමානයට සකස් කළ කේන්දර මගින් ඇතැම් ජ්‍යොතිෂවේදීන් නොයෙක් මත ප්‍රකාශ කළා. ඓෂ්වර්යා අභිෂේක් යුවළ සහභාගී වුණු සෑම පූජාවක්ම විවාහ දෝෂ දුරුකර ගැනීමේ පූජාවන් වීම බොහෝ දෙනෙකුට ගැටලුවක් වුණා. දෙදෙනාට කඩහන්දි මාරක දෝෂයක් යෙදී තිබෙන බව වගේම නක්ෂත්‍ර දෝෂයක් ද යෙදී තිබෙන බවත් ජ්‍යොතිර්වේදීන් අතර පැතිරිලා තිබුණා. 
      කොහොම හරි අන්තිමේදි දෙන්න ගේ උපන් වේලාවන් හරියටම නූලට තිතට ජයෝතිර්වේදීන් අතට පත්වුණා. දෙදෙනාගේ ම කේන්දර තුළ බලවත් භෞම දෝෂයක් හෙවත් කුජ දෝෂයක් තිබෙන බව එයින් පැහැදිලි වුණා. 
      අභිෂේක් භච්චන් ගේ කේන්දරයේ අට වැන්නේ කුජ හෙවත් අඟහරු පිහිටලා තියෙනවා. අඟහරු අට වැන්නේ පිහිටීම භෞම දෝෂයක් විදියට සැලකෙනවා. ඓෂ්වර්යා රායි ගේ කේන්දරයේ කුජ හතරවැන්නේ පිහිටලා තියෙනවා.කුජ හතරවැන්නේ පිහිටීමත් භෞම දෝෂයක් විදියට සැලකෙනවා. භෞම දෝෂය  ප්‍රධාන ගැටලුව විදියට ප්‍රකාශ වූවත් ඊටත් වඩා දරුණු ග්‍රහ බලපෑම් මේ කේන්දර දෙක තුළ තියෙනවා. අභිෂේක් ගේ කේන්දරයේ කේතු හතේ පිහිටීමත්, ඓෂ්වර්යා ගේ කේන්දරයේ ගුරු ලග්නයේ නීච වීමත් විවාහය සම්බන්ධයෙන් අසුබයි. දෙදෙනාගේම කේන්දර තුළ තිබෙන අසුබ ග්‍රහ පිහිටීම් සියල්ලම පාහේ බලපාන්නේ විවාහය සම්බන්ධයෙන් වීම විශේෂයි. 
       නිතර දෙවේලේ තිරුපති කෝවිලට ගිය මේ දෙන්නා විවාහය ඔන්න මෙන්න කියා තියෙද්දී රාම්ජානකි කෝවිලේ විශේෂ හනුමාන් පූජාවක් පැවැත්වුවෙත් අපලයේ බරපතලකම දන්නා හින්දයි.
      අභිෂේක් ඓෂ්වර්යාට වඩා වසර කීපයකින් බාලයි. මනාලයා මනාලියට වඩා වැඩිමල් විය යුතුයැයි සාම්ප්‍රදායික පිළිගැනීමක් ඉන්දියාව තුළ තිබුණත් මේ දෙන්නගේ ආදරයට වයස බලපෑවේ නෑ.  
         විවාහ දෝෂ දුරු කරගැනීමට විවාහයට පෙර ඓෂ්වර්යා ගසක් සමග විවාහ වුණෙත් අභිෂේක් ව නැතිකරගන්න අපහසු හින්දමයි. තිරුපති, මාභගවතී, රාම්ජානකි, බ්‍රහ්මා, බර්නසායි, සිද්ධි විනයාගර් වැනි ප්‍රසිද්ධ කෝවිල් තුළ පැය ගණන් පූජාවන් පැවැත්වුවෙත් තම ආදරවන්තයා සමග සැනසිලිදායක යුග දිවියක් ගතකරන්නයි. 
         ඓෂ්වර්යාට  දැනට පවතින්නේ රාහු මහ දශාවයි. අභිෂේක් ගත කරන්නේ රවි මහ දශාවයි. මේ දශා දෙකම ප්‍රසිද්ධියට යහපත් වූවත් තද බල නීති ප්‍රශ්ණයක් මතුවීමට විශාල ඉඩක් තිබෙනවා. ඓෂ්වර්යා ඔළුව නැති වැඩ කරන්නත් ඉඩ තිබෙනවා. කොහොම වුණත් අපල උපද්‍රව දුරු වීමට දෙදෙනාම නිවැරදි පිළිවෙත් අනුගමනය කරන හින්දා කරදරයක් සිදුවන එකක් නෑ. කේන්දර දෙකේම පවතින ප්‍රබල රාජ යෝග බලය හේතුවෙන් දෙදෙනාම තව තවත් ප්‍රබල තත්වයට පත්වෙන එකනම් නවත්වන්න බෑ.

        ජ්‍යොතිෂවේදී, සාම විනිසුරු 
     දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර