බුදු ගුණ අනන්තයි.

බුදු ගුණ බලයෙන් ජීවිතාරක්ෂාව සැලසෙන 
නවගුණ යන්තරය.

   බුදු ගුණ අනන්තයි. ඒ නව අරහාදී බුදු ගුණ බලය විස්තර කෙරෙන "ඉතිපිසෝ" ගාථාව අක්ෂර විද්‍යානුකූලව ප්‍රස්ථාර කොට සකසනු ලබන මහා බලගතු යන්තර රත්නය " නවගුණ යන්තරය " යි. මෙම ඇති උතුම් යන්තර රත්නය බොහෝ විට සකසනු ලබන්නේ බිළිඳුන් උදෙසා යි.කුඩා දරුවන් ගේ අපල උවදුරු දුරුවී පිහිට ආරක්ෂාව ලැබීමට නවගුණ යන්තරය සකසා කොට්ටය තුළ තැන්පත් කිරීම සිදුකරනවා. කුඩා දරුවන්ට පමණක් නොවෙයි, වැඩිහිටි අයටද මෙම උතුම් යන්තරයෙන් පිහිට ආරක්ෂාව සැලසෙනවා.
  නව ග්‍රහයින් ගෙන් එල්ලවන්නා වූ අපල උවදුරු, අමනුෂ්‍ය දෝෂ මෙන්ම ඇස් වහ, කට වහ, රෝග පීඩා දුරු වීමටත් මේ මහානුභාව සම්පන්න යන්තර රත්නය   උපකාරී වෙනවා. ඇතැම් අය විශ්වාසය තබන්නේ දීර්ඝ මන්තර දැහැන් ආදියෙන් ජීවම් කරන්නා වූ, දහස් ගණන් මුදල් වැය වන්නා වූ යන්තර ගැන පමණයි. බුදු ගුණ ඇසුරින් සකස් කර ගත හැකි යන්තරවල ගුණය, බලය පිළිබඳව ඇතැම් දෙනා තුළ දැනුමක් අවබෝධයක් නෑ. 
  ඉතිපිසෝ ගාථාව ඉතාමත් බලසම්පන්න උතුම් ගාථා රත්නයක් බව  අමුතුවෙන් පැවසිය යුතු නෑ. කෙනෙකුගේ සිතට සුළු බියක්, තැතිගැන්මක් ඇතිවුණත් බොහෝ විට සිහිවන්නේ ඉතිපිසෝ ගාථාව යි. මෙම උතුම් ගාථා රත්නය භාවිතයෙන් අපල උවදුරු, භූත දෝෂ, අසනීප පීඩා දුරු කර ගැනීමේ විධි බොහොමයක් තිබෙනවා. ඒ අතරින් අද වන විට වැඩි වශයෙන් භාවිතා වන්නේ මෙම නවගුණ යන්තරය යි.
  තල් පතක, තඹ පතක, රන් පතක ආදී කුමන කුමන හෝ පතක මෙම යන්තරය ඇඳ ගත හැකියි. යන්තරයක් ඇඳීමේදී ඉරි නොකැපෙන ලෙස ඇඳීම නිවැරදි පිළිවෙත යි. එම පිළිවෙත නවගුණ යන්තරය ඇඳ ගැනීමේදී ද අදාල වෙනවා. පස් පවින් වැළකී, කරුණා, මෙත්තා, මුදිතා, උපේක්ෂා ආදී ගුණයන්ගෙන් පෝෂණය වූ දැහැමි අයෙකු විසින් බලය පිහිටුවාලන ලද නවගුණ යන්තරය වඩාත් බලවත් වෙනවා. 
   පුර පක්ෂයේ සුබ දිනක උදෑසන, සුබ දිශාව බලා යන්තරය ඇඳ ගත යුතුයි. කිරි රුකක් යට, බුදු කුටියක, පිරිසිදු කාමරයක වැනි ස්ථානයක මල් ආසනය සාදා, ගන්ධ, දීප, පුෂ්ප යනාදිය පුදා ජපය ආරම්භ කළ යුතුයි. ඉතිපිසෝ ගාථාවෙන් ජපා කිරීමට පෙර තුනුරුවන් වැඳ, පිරිත් තුන් සූත්‍රය කියවිය යුතුයි. යන්තරයේ සුදු පැහැති තුන් නූලක් දවටා එය දකුණතින් අල්ලාගෙන ඉතිපිසෝ ගාථාවෙන් දහස් වර ජප කළ යුතුයි.
     ඇතැම් අය නවගුණ යන්තරය ජීවම් කිරීමේදී අටවිසි පිරිත හා තවත් පිරිත් ගාථා මෙයට එක් කර ගන්නවා.ඒ යන්තරයේ බලය වැඩි කර ගැනීම සඳහා යි. ජයමංගල ගාථා සහ ජය පිරිත ද මේ සඳහා භාවිතා කළ හැකියි. 
   යන්තරය නිසි පරිදි බල ගන්වාගෙන, අග සිට මුලට සිහින්ව ඔතා සුරයක දමා, ආතුරයාට සෙත් පතා පැළඳවිය යුතුයි.ළදරුවෙකුට නම් හිස තබන කොට්ටය තුළට දැමිය යුතුයි.
   මෙම යන්තරයේ බලයෙන් ළදරුවන් ගේ අසනීප පීඩා, සිහිනෙන් බියවීම්, තිගැස්සීම් ආදී පීඩාවන් දුරුවී ජීවිතාරක්ෂාව සැලසෙනවා. වැඩිහිටි අයගේ වුවද මාරක අපල මගහැරී ආරක්ෂාව සැලසෙනවා.දැහැමි සිතුවිළි සහිත සංවරශීලී පුද්ගලයින්ට මෙහි ගුණ උපරිම ලෙස  ලැබෙනවා. නවගුණ යන්තරය පැළඳ පාප කටයුතුවල යෙදීම අනිටු ඵල ලැබීමට හේතු වෙනවා.