Tuesday, October 21, 2025

කේන්දරයේ අටවැන්න

 



සැඟව පවතින බොහෝ දේ වටින්නේය. වටිනා බොහෝ දේ ඇත්තේ සැඟවීගෙනය. වටිනා දේ සැඟව පවතින තැන් භයානක තැන් බවට ද විශ්වාසයක් පවතී. නිධාන් ගැන ඇත්තේ ද එවැනි විශ්වාසයකි. එවැනි තැන් මාරක ස්ථාන ලෙස සැළකේ. කේන්දරයේ අටවැන්න ද එවැනි තැනකි. අටවැන්න මරණයේ නිවස ලෙස සැළකේ. ඒ අටවැන්නෙන් මරණය ගැන කියැවෙන බැවිනි. මරණය ගැන කියැවෙන්නේ අටවැන්නෙන්ම නොවන බව සත්‍යයකි. උපත යනු ආරම්භය නොවන්නා සේම මරණය යනු අවසානය ද නොවන්නේ ය. ජීවිතය ඉපදෙන්නේ හෝ මියයන්නේ නැත. අටවැන්න දොරටුවකි. එය පරිවර්තනයේ දොරටුවයි. පරිවර්තනයක් සිදුවන සෑම විටම මරණයක් ද සිදුවේ. තමන් සිටින සංඛ්‍යාතයෙන් මිදී ඉහළට එසවෙන හෝ පහළට බැස යන සෑම අවස්ථාවකදීම පෙර සිටි තමන්ගේ මරණය සිදුවේ. අහිංසක මරණයට පත්ව අංගුලිමාල වන්නේද, අංගුලිමාල මරණයට පත්ව උතුම් අරහත් තත්වයට පත්වන්නේද ඒ ආකාරයට ය. මුනිවරු පවසන්නේ ඔබ ඔබව මරා දැමිය යුතු බවය. එනම් මමත්වය දුරු කළ යුතු බවය. තමන් යැයි යමෙක් නැති තත්වයට පත් විය යුතු බවය. එය පරිවර්තනයකි. ද්විත්වය අතුරුදන්ව ඒකීයතත්වයට පත් වන්නේ එවිටය. මේ සියලු පරිවර්තනයන් හෙවත් මරණයන් ගැන වඩාත් වැදගත් කරුණු කියැවෙන්නේ කේන්දරයේ අටවැන්නෙනි. අටවැන්න දොරටුවක් යැයි සැළකෙන්නේ එබැවිනි.


අටවැන්න හා මනස අතර ඇත්තේ ගසයි පොත්තයි තරමේ සබැඳීයාවකි. එය එසේ විය යුතුය. ඇතැම් පරිවර්තයක් මනස තුළමය ඇතැම් පරිවර්තයන් මනසින් ඔබ්බටය. ඔබ්බට යන්නේද මනස තුලින්ය. දෙකටම මනස සම්බන්ධය. අටවැන්න නිකම් දොරටුවක් නොව විශ්ව දොරටුවකි. තවත් අතකින් එය විශ්ව සුරක්ෂිතාගාරයකි. ඒ, මිල කළ නොහැකි තරමේ වටිනා රහස් එහි සැඟව පවතින බැවිනි.


 හතරවටින් එල්ල වන දුක් ගැහැට කරදර පීඩා හමුවේ බිමට සමතලා වී නැවත උපදින මිනිසුන් ඇත. දැඩි සත්කාර ඒකකවල  දින සති ගණන් ජීවිතයත් මරණයත් අතර සටන් වැද නැවත උපදින්නෝ ද වෙති. කිසිදු බැබලීමකින් තොර දැලි වැදුණු ජීවිත අනපේක්ෂිත ලැබීමකින් දළුලා උපදින අවස්ථා ඕනැ තරම් ඇත. ඒ,අටවැන්නේ බලයයි. ඇමෙරිකානු රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරියක් මෙන්ම කතුවරියක් හා මාධ්‍ය හිමිකාරිනියක් ද වන ඔප්රා ගේල් වින්ෆ්‍රේ ගේ ජීවිත කතාව කියවා බලන්න. අන්ත දිළිඳු තත්වයක සිටි ඇය බිලියනපතිනියක් බවට පත්වීමට හේතු වූයේ කේන්දරයේ අටවැන්නේ බලයයි. 


සඳු අටවැන්නේ සිටින්නවුන් ස්වභාවයෙන්ම සංවේදීය. හැඟුම්බරය.සිතුවිලි බහුලය. ඔවුන් සියල්ලෝම පාහේ එම සංවේදී බව සුරැකිව තබාගෙන දිවි ගෙවති. අධිසංවේදී බව ඉහළ අධ්‍යාත්මික තත්වයක් කරා පරිවර්තනය කිරීමට තරම් අවබෝධයක් නොමැති බැවිනි. මාර්ගය පෙන්වා දිය යුත්තේ කේන්දරය පරීක්ෂා කරන ජ්‍යොතිර්වේදියා ය. මාර්ගය පෙන්වා දීමට නම් මාර්ගය දැන සිටිය යුතුය.


චන්ද්‍ර මෝහන් රාජ්නීශ් හෙවත් මුනිවර ඕෂෝ ගේ වෘෂභ ලග්න කේන්දරයේ අටවැන්නේ ග්‍රහයින් පස් දෙනෙකි. ඒ සඳු,කුජ,බුධ,සිකුරු හා ශනි ය. එතුමන් අවබෝධයට පත් වූවා යැයි පවසන 1953.03.21 දින පුරසඳු ලග්න භාවයේය. ගත කරමින් සිටියේ සඳු මහ දශාවේ සිකුරු අන්තර් දශාවයි. බුධ හිමි භද්‍රිකා යෝගිනි දශාවේ ශනි හිමි උල්කා අන්තර් දශාවයි. උපතේදී අටවැන්නේ සිටි මමත්වය මරා දමන ශනි ලග්නාධිපති සිකුරු සමග සම සප්තමව සිටි අවස්ථාවයි. වැදගත් කරුණු සියල්ල ගොණුවී ඇත්තේ ලග්නයයි අටයි ඇසුරේ ය.


අප මෙතෙක් කොපමණ ජීවිත සංඛ්‍යාවක් ගත කළේ දැයි කිව හැකි කිසිවෙක් නැත. එම ජීවිත තුළ සිදු වූ පරිවර්තනයන් මෙපමණයි කියා කිව හැකි අයෙක්ද නැත. පෙර භවයන් තුළ ගොඩනගාගත් සුවිශේෂ හැකියාවන්, තත්වයන් මෙන්ම ලැබූ දැනුම් පද්ධති සමග සම්බන්ධ වීමේ හැකියාව පෙන්වන්නේ අටවැන්නෙනි. ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ නිපුණත්වයට අටවැන්න වැදගත් වන බවට හේතුව ද එයයි. ගුප්ත ශාස්ත්‍ර පමණක් නොව ඕනෑම දෙයක ඉහළම නිපුණත්වය පෙර භවයන් තුළින් වර්තමාන භවයට සම්බන්ධ කරන දොරටුව අටවැන්නයි. ගුරුදේව් රබීන්ද්‍රනාත් තාගෝර් ගේ මීන ලග්නය හිමි කේන්දරයේ අටවැන්නාධිපති සිකුරු රවි හා බුධ සමග දෙවැන්නේය.එමෙන්ම අටවැන්නාධිපති තමන්ගේම නැකතකය. තුලා නවාංශකයේය.ක්ෂේත්‍ර ගණනාවක නිපුණත්වය සමග සාංසාරික හපන්කම් කොතෙකුත් මුසුව ඇති බව පැහැදිලිය.


ඇතැමුන්ට සිදුවීමට නියමිත විශේෂ සිදුවීම් හෝ අනතුරු විපත් ආදිය කල් තියා දැනෙන ශක්තියක් පවතී. එය විශ්වයෙන් කරන දැනුම්දීමක් ලෙසද විශ්වාස කෙරේ. එය සැබෑවැකි. එය මනසට ඔබ්බෙන්  සිදුවන්නක් බැවින් විශ්වයෙන් ලැබෙන යමක් ලෙස සැළකීම සාධාරණය. කෙසේ වෙතත්, මෙවන් අයගේ අටවැන්න සුවිශේෂී බලයකින් යුතුය.


දොරටුවෙන් බැහැරව ගිය හෙවත්  ජීවිතයෙන් සමුගත්  අයෙකුගේ ධනය,දේපළ හෝ වෙනයම් වස්තුවක් උරුම වීමටද අටවැන්න ශක්තිමත් විය යුතුය. ඇතැමුන් ඒවා උරුම කර ගැනීමට නොයෙක් උපාය මාර්ග යොදන නමුත් නොලැබී යන්නේ උරුම ශක්තිය අටවැන්නේ නොමැති බැවිනි.


අවධියට පත් මුනිවර ඇසුර ලැබීමේ වාසනාව ද අටවැන්න හරහා හිමි වේ.  ඇසුර හිමි වීමම ප්‍රමාණවත් නොවේ. එතුළින් ජීවන පරිවර්තනයක් සිදු වීම හෝ නොවීම තීරණය වන්නේ අටවැන්නේ බලය ශක්තිය මතය.


ඥාති වරම්, අභ්‍යන්තර වරම්, බාහිර වරම්, සිහි වරම්, නේත්‍රා වරම් ආදී වශයෙන් වරම් විවිධාකාරය. වරම කුමක් වූවත් ඊට සම්බන්ධ වන්නේ අමනුස්සයෙකි. අමනුස්සයාද විශ්වව්‍යාපී ශක්තියකි. එවන් ශක්තීන් සමග ගණුදෙනු කිරීමට, එවන් ශක්තීන් හරහා ධනය හෝ වෙන යම් උපකාරයක් ලැබීමට ඊට අනුරූප ග්‍රහ බලයක් අටවැන්න සමග සම්බන්ධව තිබිය යුතුය. 


බොහොමයක් දෙනා තුළ අටවැනි භාවය පිළිබඳව ඇත්තේ එතරම් සතුටුදායක අදහසක් නොවේ. අටවැන්න, අටවැන්නාධිපති,අටවැන්නේ ග්‍රහයින් වින කටින, අවාසනාව කැන්දන ග්‍රහයින් බව විශ්වාස කරන්නෝ බොහෝය. විසිදෙවෙනි දෙර්කාණාධිපති ගැන කිව යුත්තේ ද එයමය. ඇතැම් විට අටට සම්බන්ධ ග්‍රහයින් අමිහිරි කටුක බලපෑම් එල්ල කළ හැක. තිඹිරිගෙයින් ඇසෙන්නේ වේදනාබර විලාප හඬය. ඉවසා සිටිය යුතුය. මොහොතකට පසුව නව ලොව එළිය දකින බිළිඳෙකුගේ මොළකැටි හඬ ඇසෙනු ඇත. 


ආධ්‍යාත්මික ජ්‍යොතිෂවේදී 

සංජීව කුළුපන බණ්ඩාර 


Wednesday, May 14, 2025

මරණය සහ ග්‍රහයෝ

 


ආමර් වීදිය ගැන නොඇසූ කෙනෙක් මේ රටේ නැත. ජනාධිපති ප්‍රේමදාස මහතාගේ මරණය ගැන නොදන්නා අයෙක් ද මේ රටේ නැත.ජනාධිපති ප්‍රේමදාස මේ රටේ දෙවැනි විධායක ජනාධිපතිවරයාය. මරණයට පත් වුණේ අදින් වසර 32 කට පෙර ය. දිනය 1993 මැයි පළමු වෙනිදාය. සිද්ධිය වන විට මැදියම් දහවල පසු වී විනාඩි කීපයක් ගෙවී ගොස් තිබුණි.

ජ්‍යොතිෂවේදීන් බොහොමයකගේ ගෞරවයට බඳුන් වූ ජ්‍යොතිෂ ගුරුවරයෙක් තම පන්ති කාමරයේ උගන්වමින් සිටියේය. ඔහු තම ගෝලයින් ඉදිරියේ කතා කරමින් සිටියේ ප්‍රේමදාස මහතාගේ කේන්දරය පිළිබඳවයි.මේෂ ලග්නයේ සංකේතය ලෙස එළුවා යොදාගැනීමට කුමක් හේතු වන්නට ඇත්දැයි හෙතම ගෝලයින්ගෙන් විමසා සිටියේය. සෑහීමකට පත් විය හැකි තරමේ පිළිතුරක් නොලැබුණි. ගුරුවරයා කටහඬ අවදි කළේය. ඉතා උස ගොඩනැගිලි, උස කඳු සහ ගල්, රූස්ස ගස්... මේ ආදී ඕනෑම තැනකට නැගගත් එළුවන් ඔබ දැක ඇතුවාට සැකයක් නැත. එළුවා යනු, කළ දේ කෙසේ කළා දැයි සිතාගත නොහැකි ආකාරයේ වැඩ කළ හැකි අරුම සතෙකි. ප්‍රේමදාස ද එවැනි චරිතයකි. පහළම තැන සිට ඉහළම පුටුවට නැගීම පමණක් නොව, 1987 වර්ෂයේ පාර්ලිමේන්තුවේ බෝම්බ පිපුරුණු අවස්ථාවේ තම නායකයා මේසය යටට තල්ලු කර ඔහුගේ දිවි රැකගත්තේ අගමැති ප්‍රේමදාසය. විපක්ෂයේ සිටියදී තම නායකයා විරුද්ධවාදීන්ගේ ග්‍රහණයට ලක් වුණු අවස්ථාවක, කිසිවෙකුට නොදන්වා තනිවම ගොස් හතර අතට නෙලා නායකයා බේරාගෙන පැමිණියේ ප්‍රේමදාසය. මේෂ ලග්න කාරයින්ගේ හැටි එහෙමය. ඔවුන් කරන්නට යන දේ නවත්තන්නට සක්කරයාටවත් නොහැක.

හිටපු ජනපති ප්‍රේමදාස මහතා මෙලොව උපන්නේ 1924 ජූනි 23 වෙනිදාය. කුජට අයත් මේෂ ලග්නයෙන් උපන් ප්‍රේමදාස මහතාගේ හඳහනේ ලග්නාධිපති කුජ මහා යෝගාඩ බලයෙන් යුතුව එකොළොස්වැන්නේය. ඒ කේතු හා පුෂ්කරාම්සයේ පිහිටි සඳු සමඟිනි. කුජ කුජගේම නැකතක කුජගේම නවාංශකයක ය. ලග්නය පුෂ්කරාම්සයේ ය. වික්‍රමස්ථානය සහ එකොළොස්වැන්න ද පුෂ්කරාම්සයේ ය. උපායකාරක, බුද්ධිකාරක බුධ දෙවන්නේය. සෙනසුරු වක්‍රව හත්වන්නේ ය. ගුරු වක්‍රව අටවැන්නේය. රවි සිකුරු සමග තෙවන්නේය. බුධ සහ සිකුරු අතර පරිවර්තනයකි. රාහු පස්වැන්නේය. කේන්දරයේ බලසම්පන්න බව පිළිබඳව අමුතුවෙන් යමක් කිව යුතු නොවේ. ප්‍රේමදාස මහතාගේ පියා රිචඩ් මුදලාලි මහතා ඒ කාලයේ මැලිබන් වීදියේ  විසු දෛවඥ ආර්. කේ. පියදාස මහත්තයා හමුවී පුත්‍රයාගේ ජන්මපත සාදවාගත් මොහොතේ ඵලාඵල  ඇසීමෙන් විමතියට පත් වූයේ ද නිකම් නොවේ.

ජනපති ප්‍රේමදාස මහතා 94 ජනවාරි තෙක් ජීවත් නොවන බව "කේන්දරය" පුවත්පතේ පොල්ගෙඩි අකුරෙන් ලිව්වේ දෛවඥ ඇහැලියගොඩ ජයන්ත ද සිල්වා ය. පළමු වතාවට 1998 දී මගේ ජ්‍යොතිෂ ලිපියක් පුවත්පතක පල කළ කතුවරයාය. එතුමා අද ජීවතුන් අතර නැත. 

 ඇතැමුන්ගේ අදහස මරණය ගැන විමසිය යුත්තේ දෙවැනි සහ හත්වැනි භාවවලින් බව ය. තවත්  සමහරුන්ගේ මතය අනුව මරණය තුන්වැන්නෙන් පරීක්ෂා කළ යුතු බවය. තවත් අය පවසන්නේ මරණය නිවේදනය කරන්නේ අටවැන්න බවය. කෙසේ වූවද, යමෙක් මරණයට පත් වූ පසුව ඊට හේතු වූ ග්‍රහ බලපෑම් පිළිබඳව නොයෙක් ජ්‍යොතිෂ න්‍යායන් ඉදිරිපත් කරන කිසිවෙකුත් යමෙකුගේ මරණයට පෙර කිසිවක් නොකියයි. ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ කේන්දර කොතෙක් සමාජගතව තිබුණද කිසිවෙක් ඔවුන්ගේ අවසානය පිළිබඳව ඉඟියක් හෝ ඵල නොකිරීම විශේෂත්වයකි. දැනට දේශපාලනයෙන් ඈත්ව සිටින හිටපු ජන නායකයෙක් සම්බන්ධයෙන් ඇතැමුන් පසු ගිය කාලය පුරා වටින් ගොඩින් ඉඟි ඵල කළද මෙතෙක් ඒ කිසිවක් සැබෑ වූයේ නැත. මරණය ගැන අනාවැකි පැවසීම පහසු කාර්යයක් නොවේ.

මරණය උපදින්නේ ඕනෑම කෙනෙකුගේ උප්පත්තිය සමඟ ය. මරණය යනු ජීවිතය මෙන්ම වූ ක්‍රියාවලියකි. මරණය ජීවිතය සමඟ එක්ව ගලා යයි. එය ජීවිතයට විරුද්ධ දෙයක් නොවේ. උපන් දා පටන් මරණය ද සිද්ද වෙමින් පවතියි. මරණය සහ ජීවිතය යනු එකම ශක්තියේ, එකම සංසිද්ධියේ ධ්‍රැවීයතා දෙකකි. උපත සහ මරණය එසේත් නැතිනම් ජීවිතය සහ මරණය යනු අභිරහස් දෙකක් නොව එකම අභිරහසක දෙපැත්තකි. වඩදිය බාදිය, දිවා රෑ, ගිම්හානය හා ශීත කාලය මෙනි. ඒවා වෙන් වෙන්ව නොපවතින අතර ප්‍රතිවිරුද්ධද නොවේ. ඒවා එකෙනෙකින් ඌනපූර්ණ වේ.මරණය එක් ජීවිතයක සම්පූර්ණ කිරීමකි. මරණය නොමැතිව ජීවිතයට පැවතීමක් නැත. මේ අනුව උපත සහ ජීවිතය ගැන මූලිකත්වය දරන ලග්නය සහ ලග්නාධිපති මරණය සම්බන්ධයෙන් ද බැඳී සිටියි. 

ප්‍රේමදාස මහතාගේ මරණය සිදු වූ මොහොතේ උදා වී තිබුණේ කටක ලග්නයයි. ජන්ම කේන්දරයේ බලවත්ව සිටි ලග්නාධිපති  කුජ ඉතාමත් දුර්වලව ලග්න භාවයේ ය. කුජගෙන් අටවැන්න වූ කුම්භයේ ශනි ය. කුම්භ රාශිය යනු ජන්ම කේන්දරයේ ලග්නාධිපති සිටි රාශියයි. එමෙන්ම උපතේ කුම්භ රාශිය පතිත වූ එකොළොස් වැනි භාවය අටවැන්නේ ආරූඩ ස්ථානයයි. ජන්ම රාශිය වූ මේෂයේ රවි,බුධට අමතරව ගුලික සහ මාන්ධි ය.

ඕනෑම මරණයකදී, මරණය සමඟ ලග්නයේ සහ ලග්නාධිපති ගේ බැඳීම කැපී පෙනෙන බව පැහැදිලිව දැක ගත හැකිය.උපත සහ ජීවිතයේ ගලා යාම කියන්නා වූ ලග්න භාවය මරණය ගැන ද කියන්නා වූ මූලික ස්ථානය යි.

ආධ්‍යාත්මික ජ්‍යොතිෂවේදී 
සංජීව කුළුපන බණ්ඩාර.
 


Tuesday, April 22, 2025

වැළඳ ගැනීමේදී වැළඳ ගැනීම බවට පත් වෙන්න.


 

ශිව කියනවා,
දරණීය වෙන්න. වැළඳ ගැනීමේදී වැළඳ ගැනීම බවට පත් වෙන්න. හාදුව බවට පත් වෙන්න. "මම තව දුරටත් නැත. ආදරය පමණක් පවතී." යැයි පැවසිය හැකි තරමට තමන්ව සම්පූර්ණයෙන්ම අමතක කරන්න. එවිට හදවත ස්පන්දනය නොවේ.ආදරය ස්පන්දනය වේ. එවිට රුධිරය සංසරණය නොවේ. ආදරය සංසරණය වේ. ඇස් නොපෙනේ. ආදරය දකී. ස්පර්ශ කිරීමට දෑත් චලනය නොවේ. ඒ වෙනුවෙන් ආදරය චලනය වේ. ආදරය බවට පත් වී සදාකාලික ජීවිතයට ඇතුළු වන්න.ආදරය හදිසියේම ඔබේ මානය වෙනස් කරයි. ඔබ කාලයෙන් ඉවතට විසි වී යන අතර ඔබ සදාකාලිකත්වයට මුහුණ දෙයි. ආදරය ගැඹුරු භාවනාවක් බවට පත් වෙයි. හැකි තරම් ගැඹුරුම...

🔆🔆🔆

ආදරය භාවනාවක් බවට පරිවර්තනය කළ හොත් එය සමාධියක් වනු ඇත. තන්ත්‍රයේ තේරුම එයයි.
තන්ත්‍ර ආදරය සහ ලිංගිකත්වය ගැන වැඩි වශයෙන්  කතා කරන්නේ මන්දැයි ඔබට තේරුම් ගත හැකිය. මක් නිසාද යත්, ආදරය යනු ඔබට මේ ලෝකය,මෙම තිරස් මානය ඉක්මවා යා හැකි පහසුම ස්වභාවික දොරටුවයි.
එමෙන්ම එය බොහෝ ශාන්තුවරයින්ට, යෝගීන්ට මඟ හැරුණු දොරටුවයි.

සංජීව කුළුපන බණ්ඩාර.
සාරථි ආධ්‍යාත්ම කේන්ද්‍රය.