Sunday, April 9, 2017

2017 අලුත් අවුරුදු පලාපල.


           ශනි,බුධ,සිකුරු ග්‍රහයින් වක්‍රව සිටියදී, ශනි හිමි මකර ලග්නයෙන්,ගුරු හිමි විසා නැකතින්,මාතංග නම් මහා යෝගයෙන් මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. ඒ,2017 අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පූර්ව භාග 02. 04 ට ය.මෙසේ උදාවන සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොම බලපාන්නේ දැයි විමසා බලමු.

මේෂ ලග්නය 
සුබදායක වසරක් 
 අවහිර බාධා දුරුවී හිතට අස්වැසිල්ලක් ලැබෙන වසරක් බව කිව යුතුයි. කෙසේ වෙතත් ජුනි මස 21 දින පටන් ඔක්තෝබර් මස 27 දින තෙක් කාලය තුළ දුර දිග නොබලා වියදම් කිරීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. මෙම කාලය තුළ ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවිය යුතුයි.
 රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවෙනවා. අලුත් ව්‍යාපාර වලට අතගැසීමට ඔක්තෝබර් 27 න් පසු කාලය වඩාත් සුබදායකයි. ඔක්තෝබර් 27 දින පටන් රැකියා සහ ව්‍යාපාර කටයුතු වල කැපී පෙනෙන දියුණුවක් ඇතිවෙනවා.
  ඔක්තෝබර් 27 දින තෙක් කාලය තුළ තරමක ආවේගශීලී ගති ඇතිවෙනවා. ඉක්මන් කෝපය පාලනය කරගැනීමට වගබලා ගත යුතුයි.එමෙන්ම ඉක්මන් තීන්දු තීරණ වලට එළඹීමෙන් වැළකී සිටීමද වැදගත් වෙනවා.  ඔක්තෝබර් 27 පටන් ඉදිරි කාලය තුළ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් වඩාත් සුබදායක පසුබිමක් ඇතිවෙනවා. සැප්තැම්බර් 12 පටන් ඉදිරි කාලය තුළ විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකිවෙනවා.
   ජුනි 21 දින පටන් ඔක්තෝබර් 27 දින තෙක් කාලය තුළ ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. බරපතළ රෝග පීඩාවන්ට ඉඩ කඩ නොමැති නමුත් සුළු වැටීම් අනතුරු වලට ඉඩ තිබෙනවා.සෙම් පීඩා, උන රෝග ආදියටද ඉඩ තිබෙනවා.
 අධ්‍යාපන කටයුතු වල යෙදෙන මේෂ ලග්න හිමියන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවෙනවා. තරඟ විභාග ආදියෙන් ජය අත්කර ගැනීමට හැකිවෙනවා.

වෘෂභ ලග්නය.
අභියෝගාත්මක වසරක්.
ස්ථිර ප්‍රතිපත්ති මෙන්ම මනා ධෛර්යයක් හිමි ඔබට මෙම වසර සාර්ථක වසරක් බවට පත්කර ගැනීමේ හැකියාව පවතිනවා. අගෝස්තු 18 දින තෙක් කාලය තුළ රැකියාව සම්බන්ධයෙන් ඉක්මන් තීන්දු තීරණ වලට එළඹීමෙන් වැළකීම සුබදායක වෙනවා.රැකියා කටයුතු සම්බන්ධයෙන් වරින් වර තරමක අතෘප්තිමත් ගති ඇති වෙනවා.  ඔක්තෝබර් 27 දින පටන් ඉදිරි කාලය තුළ ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවිය යුතුයි.ධන හානි,නිෂ්පල වියදම්, අධික වියදම් වලට ඉඩ තිබෙනවා.දුර දිග නොබලා කරන වියදම් වලින් වැළකිය යුතුයි.
   අගෝස්තු 18 දින තෙක් කාලය ගෘහ ජීවිතය සම්බන්ධයෙන් එතරම් සුබදායක නෑ. සමගිය වරින් වර බිඳවැටීමට ඉඩ තිබෙනවා.යුග ජිවිත ගත කරන වෘෂභ ලග්න හිමියන් ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි.අගෝස්තු 18 දින පටන් ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සුබදායක වාතාවරණයක් ඇතිවෙනවා.
   ඔක්තෝබර් 27 දින පටන් ඉදිරි කාලය තුළ ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.වැටීම්,අනතුරු, අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙනවා. සුළු අසනීපයක් වැළඳුනද නිශ්චය කර ගැනීමට අපහසු වීමට හෝ ලබාගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.
  අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නව වසර සුබදායකයි.

මිථුන ලග්නය 
අභියෝග මධ්‍යයේ ජයග්‍රහණ.
සැප්තැම්බර් 12 වෙනිදා තෙක් කාලය තුළ රැකියා කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන්ද  සෑහීමකට පත්වීමට අපහසු වෙනවා. අනපේක්ෂිත බාධක අවහිර හේතුවෙන් සිතට වරින් වර කළකිරීම් ඇතිවෙනවා. සැප්තැම්බර් 12 වෙනිදා පටන් රැකියා කටයුතු වල ආර්ථිකයේ කැපී පෙනෙන දියුණුවක් ඇති වෙනවා.අලුත් වැඩ කටයුතු,ව්‍යාපාර ආදියට අත ගැසීමට මෙන්ම රැකියා සම්බන්ධයෙන් තීන්දු තීරණ වලට එළඹීමටද සැප්තැම්බර් 12 වෙනිදා පටන් ඉදිරි කාලය සුබදායකයි.
   ගෘහ ජීවිතය සුළු සුළු ගැටළු මතු වුණද බරපතළ ගැටළු කරදර වලට ඉඩ කඩ නෑ. ගේදොර,දේපළ ආදියේ දියුණුවක් ඇතිවෙනවා.නව වසරේ මිථුන ලග්න හිමියන් තුළ කැපී පෙනෙන උද්යෝගයක්, උනන්දුවක් ඇති වෙනවා. බාධක මැඩගෙන ඉදිරියට යාමේ ශක්තිය මතුවෙනවා. දරාගැනීමේ හා ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය වෙනවා.
  විරුද්ධ ලිංගිකන්ගේ අවධානයට ලක්වන පසුබිමක් උදාවන බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වෙනවා. විශේෂයෙන් යුග ජිවිත ගත කරන මිථුන ලග්න හිමියන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
  අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නව වසර ඉතාමත් සුබදායකයි. තරඟ විභාග ආදියෙන් ඉහළ ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකිවෙනවා. 
මුත්‍රා අසනීප,උදරාශ්‍රිත දැවිලි ගති. සෙම් පීඩා වාරි වර මතුවීමට ඉඩ තිබෙනවා.

කටක ලග්නය 
සාර්ථක වසරක් 
රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවෙනවා මෙන්ම බලාපොරොත්තු බොහොමයක් ඉටු කර ගැනීමට ද හැකිවෙනවා.කටක ලග්න හිමියන්ට කාලයකින් උද වූ යහපත් වසරක් ලෙස හඳුන්වන්න පුළුවන්. රැකියාවේ තමන්ට හිමි නිසි තැන, සුදුසු තැන හිමි කරගැනීමට හැකිවෙනවා. කෙසේ වෙතත් අගෝස්තු මස 18 වෙනිදා තෙක් කාලය තුළ ආර්ථිකය සම්බන්ධයෙන් සැළකිලිමත් වීම වැදගත් වෙනවා. වියදම් පාර්ශවය ඉහළ යාමේ අවදානමක් පවතිනවා.නිෂ්පල වියදම්, ධන හානි ආදියට ඉඩ තිබෙනවා.
  අගෝස්තු 18 වෙනිදා පටන් කටක ලග්න හිමියන් තුළ පෙර නොවූ තරමේ උද්යෝගයක් ඇති වෙනවා.බාධක මැදගෙන ඉදිරියට යාමේ ශක්තිය ඇතිවෙනවා. විදේශ රැකියා,විදේශ ගමන් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින කටක ලග්න හිමියන්ගේ බලාපොරොත්තු අගෝස්තු 18 වෙනිදායින් පසුව ඉටු වෙනවා.
   ගෘහ ජීවිතය තුළ සුළු සුළු ගැටළු, අසමගිකම් මතු වුණද බරපතළ කරදර වලට ඉඩ කඩ නෑ. විවාහ කටයුතු වලට තරමක බාධක අවහිර එල්ල වෙනවා.
උදරාශ්‍රිත අසනීප,සෙම් අසනීප වැනි සුළු අසනීප පීඩාවන් හැරුණු කොට ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි.
  අධ්‍යාපන කටයුතු වල නියැලෙන කටක හිමියන්ට නව වසර සුබයි. ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන හැකි වෙනවා.

සිංහ ලග්නය.
සහනය ලැබෙන වසරක්.
බොහොමයක් සිංහ ලග්න හිමියන්ට කාලයක් පුරා තරමක මානසික ව්‍යාකූලත්වයක් පැවති බව නොරහසක්. සියලු මානසික පීඩාවන්,නොසන්සුන් ගති නව වසර තුළ තුරන් වෙනවා.අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය රැකියා කටයුතු හා ආර්ථිකය සම්බන්ධයෙන් එතරම් සතුටුදායක නොවන නමුත් අගෝස්තු 18 වෙනිදා පටන් ඉතාමත් සතුටුදායක වාතාවරණයක් ඇතිවෙනවා. රැකියා කටයුතු වල කැපී පෙනෙන දියුණුවක් ඇතිවෙනවා. නව අය මාර්ග ඇතිකර ගැනීමට හැකි වෙනවා.
   අගෝස්තු 18 දින තෙක් කාලය තුළ ඉක්මන් තීන්දු තීරණ හේතුවෙන් ගැටළු මතුවීමට ඉඩ තිබෙන බැවින් ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. 
   ජුනි මස 21 දින පටන් ඔක්තෝබර් මස 27 දින තෙක් කාලය තුළ ගෘහ ජීවිතයේ සමගිය,සාමය බිඳ වැටීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම යුග ජිවිත ගතකරන සිංහ ලග්න හිමියන් මෙම කාලය තුළ ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.
  .ඔක්තෝබර් 27 පටන් ඉදිරි කාලය ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සබුදායකයි.ගේදොර දේපළ සම්බන්ධයෙන් ද දියුණුවක් ඇතිවෙනවා.
    ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැලකිය යුතු තරමේ ගැටළුවක් මතුවන්නේ නෑ. යහපත් සෞක්‍ය තත්වයක් පවත්වාගෙන යාමට හැකිවෙනවා.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන සිංහ ලග්න හිමියන්ට අගෝස්තු 18 පටන් ඉදිරි කාලය තුළ විශේෂ සුබ පල අත්වෙනවා. අගෝස්තු 18 තෙක් කාලය තුළ අමතකවීම් බහුල විය හැකියි.

කන්‍යා ලග්නය.
ජයග්‍රාහී වසරක්.
අගෝස්තු 18 වෙනිදා තෙක් කාලය තුළ වියදම් පාර්ශවය ඉහළ යා හැකියි.අගෝස්තු 18 දින පටන් ආර්ථිකයේ ප්‍රගතියක් ඇතිවෙනවා. සැප්තැම්බර් 12 තෙක් කාලය රැකියා කටයුතු සම්බන්ධයෙන් එතරම් සතුටුදායක නෑ. සැප්තැම්බර් 12 දින පටන් රැකියා කටයුතු වල කැපී පෙනෙන ප්‍රගතියක් ඇතිවෙනවා. තමන්ට හිමි නිසි,සුදුසු තැන හිමි වෙනවා.
  කාලයක් පුරා පැවති අවහිරකාරී තත්වය සැප්තැම්බර් 12 වෙනිදා පටන් දුරුව යනවා.එතැන් පටන් සුබවාදී වෙනස්කම් බොහොමයක් ඇතිවන අතර අඩාලව පැවති වැඩ කටයුතු නැවත සාර්ථක කරගැනීමට හැකිවෙනවා.උද්යෝගය,උනන්දුව වර්ධනය වෙනවා.සිතට සැනසිලිදායක වාතාවරණයක් ඇතිවෙනවා. එතැන් පටන් ඉදිරි කාලය ගෘහ ජීවිතය සම්බන්ධයෙන්ද සුබදායකයි.ගේදොර දේපළ ආදියේද විශේෂ දියුණුවක් ඇතිවෙනවා.විවහාපේක්ෂාවන් ඉටුකර ගැනීමට හැකි වෙනවා.
  සැප්තැම්බර් 12 තෙක් කාලය තුළ උදරාශ්‍රිත අසනීප පීඩා වරින් වර මතු විය හැකියි. එතැන් පටන් ඉදිරි කාලය ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් බොහෝ දුරට සුබදායකයි.
 අධ්‍යාපනය ලබන කන්‍යා ලග්න හිමියන්ට වසර පුරාම සුබදායක වාතාවරණයක් පවතිනවා.

තුලා ලග්නය.
සුබ පලදායක වසරක්.
ඔක්තෝබර් 27 වෙනිදා තෙක් කාලය තුළ වරින් වර ආර්ථිකය අඩාල විය හැකයි. මෙම කාලය තුළ ආර්ථිකය ප්‍රවේශමෙන් කළමනාකරණය කර ගත යුතුයි.විශේෂයෙන් ව්‍යාපාර කටයුතු වල යෙදෙන තුලා ලග්න හිමියන් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.ඔක්තෝබර් 27 වෙනිදා පටන් ආර්ථිකයේ ප්‍රගතියක් ඇතිවෙනවා.එතැන් පටන් රැකියා කටයුතුවල ද පෙරට වඩා දියුණුවක් ඇතිවෙනවා.
  ඔක්තෝබර් 27 වෙනිදා තෙක් කාලය තුළ මානසික සහනය වරින් වර බිඳ වැටෙනවා.කරන කියන වැඩ කටයුතු වලට තරමක බාධක අවහිර එල්ල වෙනවා.උත්සාහයේ හා මහන්සියේ තරමට හිතට ගැළපෙන තරමේ ප්‍රතිපල ලබා ගැනීමට අපහසු වෙනවා. ඔක්තෝබර් 27 දින පටන් ඉතාමත් වාසිදායක පසුබිමක් සැකසෙනවා. බලාපොරොත්තු ඉටු කරගැනීමට හැකිවනවා මෙන්ම කරන කියන කටයුතු ද හිතට ගැළපෙන පරිදි සාර්ථක වෙනවා. 
  සැප්තැම්බර් 12 දින තෙක් කාලය විදේශ ගමන්, විදේශ රැකියා සඳහා යොමු වීමට සුබදායකයි.අගෝස්තු 18 දින තෙක් කාලය තුළ ඇසුරු කරන අය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.
ජුනි 21 පටන් ඔක්තෝබර් 27 තෙක් කාලය තුළ වැටීම්,අනතුරු,අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙනවා.
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වසර පුරාම සුබදායක වාතාවරණයක් පවතිනවා.

වෘශ්චික ලග්නය
මිශ්‍ර පලදායක වසරක්.
නව වසර තුළ ආර්ථිකය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. විශේෂයෙන් ඔක්තෝබර් 27 දින පටන් වියදම් වැඩි වීමටත්,නිෂ්පල වියදම් යෙදීමටත්, ධන හානි සිදුවීමටත් ඉඩ තිබෙනවා.නව වසර තුළ ආර්ථිකය ප්‍රවේශමෙන් කළමනාකරණය කර ගත යුතුයි.
අගෝස්තු 18 දින පටන් රැකියා කටයුතු වල දැනට වඩා ප්‍රගතියක් ඇතිවෙනවා.උසස්වීම්,වරප්‍රසාද බලාපොරොත්තුවෙන් සිටින වෘශ්චික ලග්න හිමියන්ට තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට හැකි වෙනවා.
ජුනි 21 තෙක් දැනට ගත කරන කාලය තුළ මෙන්ම ඔක්තෝබර් 27 පටන් ඉදිරි කාලය තුළ ගෘහ ජීවිතයේ සතුට සැනසුම අඩුවීමට ඉඩ තිබෙනවා. ගෘහ ජීවිතය තුළ ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.මෙම කාලය තුළ මානසික සහනය අඩු වෙනවා.සිතට වරින් වර කළකිරීම් ඇතිවිය හැකියි.
 නව වසර තුළ ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. හදිසි අනතුරු වලට ඉඩ තිබෙනවා. සුළු අසනීපයක් වැළඳුනද ලබා ගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.
 අධ්‍යාපනය ලබන වෘශ්චික ලග්න හිමියන් මානසික නිරවුල්තාවය නිසි පරිදි පවත්වා ගැනීම වැදගත් වෙනවා.කෙසේ වෙතත් අධ්‍යාපන කටයුතු කෙරෙහි තද බල බාධක එල්ල වන තත්වයක් නෑ.

ධනු ලග්නය.
අභියෝග මැද ජය ලැබෙන වසරක්.
   ආර්ථිකය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි. යහපත් ආර්ථිකයක් පවත්වා ගැනීමට හැකි වෙනවා.රැකියා කටයුතු සම්බන්ධයෙන් වරින් වර තරමක ගැටළු, අතෘප්තිමත් ගති ඇති වුණද බරපතළ ගැටළු වලට ඉඩ කඩ නෑ.සැප්තැම්බර් 12 දින පටන් රැකියාවේ යම් ප්‍රගතියක් ඇති වෙනවා. කෙසේ වෙතත් රැකියා වෙනස් කිරීම් වලට නව වසර එතරම් සුබ දායක නෑ.
   මානසික සහනය වරින් වර බිඳ වැටෙන තත්වයක් පවතිනවා.යුග ජීවිත ගත කරන ධනු ලග්න හිමියන් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ආදර සම්බන්ධතා පවත්වන ධනු ලග්න හිමියන්ට විවාහය සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට එළඹීමට අපහසු වීමටත්, අවිනිශ්චිත තත්වයන්ට මුහුණ දීමටත් සිදු විය හැකියි. කෙසේ වෙතත් ඉක්මන් තීන්දු තීරණ වලට නොබැස ඉවසිලිමත්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
  ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.හදිසි අනතුරු වලට ඉඩ තිබෙනවා.සුළු අසනීපයක් වැළඳුනද නිශ්චය කර ගැනීමට අපහසු වීමට හෝ ලබාගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබීමට ඉඩ තිබෙනවා.
  අධ්‍යාපන කටයුතු වල යෙදෙන ධනු ලග්න හිමියන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.තරඟ විභාග වලින් ජය අත්කර ගැනීමට හැකිවෙනවා.

මකර ලග්නය 
මිශ්‍ර පලදායක වසරක්.
 නව වසර තුළ ආර්ථිකය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි. වියදම් අධික වීමටත්,නිෂ්පල වියදම් යෙදීමටත්, ධන හානි සිදුවීමටත් ඉඩ තිබෙනවා.ආර්ථිකය ප්‍රවේශමෙන් මෙහෙයවීම වැදගත් වෙනවා.
   රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉහළ ප්‍රගතියක් අපේක්ෂා කිරීමට අපහසුයි.කෙසේ වෙතත් අගෝස්තු 18 වෙනිදා පටන් රැකියා කටයුතු වල දැනට වඩා යම් ප්‍රගතියක් ඇතිවෙනවා. විදේශ රැකියා පිලිබඳ බලාපොරොත්තුවෙන් මකර ලග්න හිමියන්ට ඒ සම්බන්ධයෙන් බාධක අවහිර එල්ල වෙනවා.විදේශ රැකියා වල නියැලෙන මකර ලග්න හිමියන්ටද තරමක අසුබ බලපෑම් එල්ල වෙනවා.
 නව වසර තුළ තම අගය,වටිනාකම අන්‍යයන්ට නිවැරදිව නොදැනෙන බවක් හැඟී යා හැකියි. අන්‍යයන්ට තමන්ව නිවැරදිව තේරුම් ගැනීමට අපහසු තත්වයක්ද ඇතිවීමට ඉඩ තිබෙනවා.කෙසේ වෙතත් ඉවසිලිමත්ව හා උපායමාර්ගිකව කරන කටයුතු බොහොමයක් සාර්ථක කරගැනීමට හැකිවෙනවා.
 අගෝස්තු 18 දින පටන් ඉදිරි කාලය තුළ ගෘහ ජීවිතයේ සතුට සැනසුම අඩුවී යා හැකයි.යුග ජීවිත ගත කරන මකර ලග්න හිමියන් ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. අගෝස්තු 18 දින පටන් විවාහ කටයුතු හා ප්‍රේම සම්බන්ධතා වලට බාධක එල්ල වෙනවා.
   ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් වසර පුරාම සැළකිලිමත් විය යුතුයි. හදිසි අනතුරු වලට ඉඩ තිබෙනවා. නිශ්චය කර ගැනීමට අපහසු හෝ ලබාගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබෙන ආකාරයේ අසනීප පීඩා මතුවීමට ඉඩ තිබෙනවා.
  අධ්‍යාපන කටයුතු වල නියැලෙන මකර ලග්න හිමියන්ට තම අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවෙනවා.

කුම්භ ලග්නය.
යහපත් වසරක්.
ආර්ථිකය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි. විශේෂයෙන් අගෝස්තු 18 වෙනිදා පටන් ආර්ථිකයේ වඩාත් සතුටුදායක තත්වයක් ඇතිවෙනවා.
එතැන්  පටන් ඉදිරි කාලය රැකියා කටයුතු සම්බන්ධයෙන්ද වඩාත් සුබදායකයි.රැකියාවේ විශේෂ ප්‍රගතියක් ඇතිවෙනවා මෙන්ම බලාපොරොත්තුවෙන් සිටි උසස්වීම් හෝ විශේෂ වරප්‍රසාද ද හිමි වෙනවා. නව රැකියා සඳහා යොමුවීමට ද අගෝස්තු 18 වෙනිදායින් පසු කාලය සුබදායකයි.
අගෝස්තු 18 වෙනිදා පටන් ඉදිරි කාලය විවාහ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට මෙන්ම විවාහ කටයුතු සිදුකිරීමටද සුබදායකයි. එතෙක් කාලය තුළ විවාහ කටයුතු වලට තරමක බාධක අවහිර එල්ල වන අතර මානසික සතුට ප්‍රබෝධයද වරින් වර අඩුවෙනවා.
  නව වසර තුළ ගේදොර දේපළ ආදියේ දියුණුවක් උදා කර ගැනීමට හැකිවෙනවා.හිත මිත්‍රාදීන්ගේ උදව් උපකාරද හිමි වෙනවා.
ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් නව වසර බොහෝ දුරට සුබදායකයි.සැළකිය යුතු තරමේ අසනීප පීඩාවන් මතුවන බවක් පෙනෙන්නට නෑ.
අධ්‍යාපනය ලබන කුම්භ ලග්න හිමියන්ට තම අධ්‍යපන කටයුතු බාධාවකින් තොරව සාර්ථකව කරගෙන හැකිවෙනවා.

මීන ලග්නය.
නව වසර සුබයි.
නව වසර තුළ යහපත් ආර්ථිකයක් පවත්වා ගැනීමට හැකිවෙනවා.අගෝස්තු 18 තෙක් කාලය ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂයෙන් සුබදායකයි. රැකියා කටයුතු සම්බන්ධයෙන්ද නව වසර තුළ සුබදායක වාතාවරණයක් පවතිනවා.රැකියා කටයුතු බාධාවකින් තොරව සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.අගෝස්තු 18 වෙනිදායින් පසුව රැකියා වෙනසකට ඉඩ තිබෙනවා.සැප්තැම්බර් 12 තෙක් කාලය විදේශ රැකියා සඳහා යොමුවීමට සුබදායකයි.
 සැප්තැම්බර් 12 වෙනිදා තෙක් කාලය තුළ ගෘහ ජීවිතයේ සතුට තෘප්තිය තරමක් අඩු විය හැකියි.විවාහ කටයුතු වලටද තරම බාධක එල්ල වන තත්වයක් පවතිනවා. සැප්තැම්බර් 12 වෙනිදා පටන් එම තත්වය දුරු වී යන අතර විවාහ කටයුතු සම්බන්ධයෙන් සුබදායක වටපිටාවක් ඇතිවෙනවා.
නිවාස සැදීම,දේපළ,වාහන මිලදී ගැනීම ආදී කටයුතු වලට නව වසර සුබදායකයි.
 දණිස්,දෙපා,සන්ධි,තුනටිය ආශ්‍රිත වේදනා පීඩා මතුවීමට ඉඩ තිබෙනවා.බරපතළ අසනීප පීඩාවන්ට ඉඩ කඩ නෑ.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන මීන ලග්න හිමියන්ගේ අධ්‍යපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වෙනවා.



Friday, April 7, 2017

2017 ගණුදෙනු කිරීමේ නැකත.

                           සිංහල අවුරුදු නැකත් පිළියෙළ කරනු ලබන්නේ නැකත් කමිටුව මගිනි. නැකත් කමිටුව පංචාංග ලිත් කතුවරු ඇතුළු ජ්‍යොතිෂවේදීන් පිරිසකගෙන් සමන්විත වේ. මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා පිළියෙළ කරන ලද නැකත් කාණ්ඩයේ වැඩ ඇල්ලීම,ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා වන නැකත දෝෂ සහගත බව ඇතැම් ජ්‍යොතිෂවේදීන්ගේ අදහසයි. 
                             නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පුර්වභාග 07. 05 ට ය. එම මොහොතේ ග්‍රහ තත්වය සටහන් වන්නේ පහත පරිදි ය.
                             
            මෙම කේන්දර සටහනේ චන්ද්‍රයා නීචව 08 වෙනි භාවයේ තැන්පත්ව සිටියි. චන්ද්‍රයා 08 වෙනි භාවයේ පිහිටුවා නැකත් සෑදීම ශාස්ත්‍රීය ක්‍රමය නොවේ.චන්ද්‍රයා සිව් වෙනි භාවයේ අධිපති ග්‍රහයා බැවින් වඩාත් අසුබය. 
        ගණුදෙනු කිරීමේදී ධනස්ථානය වූ  දෙවෙනි භාවයත්, අයස්ථානය වූ එකොළොස් වෙනි භාවයත් බලවත්ව,යහපත්ව පැවතිය යුතුය. නැකත දී තිබෙන මොහොතේ ධනස්ථානය වූ දෙවෙනි භාවයේ කුජ හෙවත් අඟහරුය. අයස්ථානය වූ එකොළොස් වෙනි භාවයේ කේතු ය. පාප ග්‍රහයින් එකොළොස් වෙනි භාවයේ පිහිටීම නැකතක බලය වර්ධනය වීමට හේතුවක් බව ජ්‍යොතිෂයේ සඳහන් වූවද ගණුදෙනු කිරීමේ නැකතකදී අයස්ථානය වූ එකොළොස් වෙනි භාවයට  කේතු වැනි හකුළුවන ග්‍රහයෙක් සුබදායක නොවේ.මෙම නැකතට ගණුදෙනු කිරීමෙන් සිදුවන්නේ වැය වැඩි වීමත් අය අඩු වීමත්ය. පතළ කරවන ග්‍රහයෙක් ධනස්ථානයේ සිටීමත් හකුළුවන ග්‍රහයෙක් අයස්ථානයේ සිටීමත්හේ තුවෙනි. ධනස්ථානාධිපති සිකුරු වැයස්ථානයේ පිහිටීමද ධනය සම්බන්ධයෙන්  අසුබදායක ය. 
              වැඩ ඇල්ලීම සිදුකරනු ලබන්නේ තම වෘත්තීය කටයුතු වල සාර්ථකත්වයක් අපේක්ෂාවෙනි. රැකියාව ට ප්‍රධාන වශයෙන්ම බලපාන්නාවූ දස වෙනි භාවය දෙපස ශනි හා කේතු ය. කර්මස්ථානය පාප ග්‍රහයින් දෙදෙනෙකුට මැදිව සිටියදී වැඩ ඇල්ලීම සුබදායක නොවේ.
                  ගුරු, සිකුරු දෙදෙනා අසුබ ස්ථාන දෙකක පිහිටුවීමත් දෝෂ සහගතයි. විශේෂයෙන් ගුරු ග්‍රහයා හය,අට,දොළහ යන ස්ථානයක පිහිටුවා නැකත් සෑදීම පිළිගත් සම්ප්‍රදාය නොවේ.
                      මේ අනුව, මෙවර වැඩ ඇල්ලීම,ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා ලබාදී තිබෙන නැකත දෝෂ සහගත ය.
                      ආහාර පිසීම අප්‍රේල් 14 වෙනි සිකුරාදා පූර්ව භාග 05.05 ට සිදු කර, වැඩ ඇල්ලීම,ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පූර්ව භාග 05.57 ට සිදු කිරීම සුබදායක ය.
                                  මෙම නැකත් වේලාවන් තුළ ගුරු හිමි මීන ලග්නය උදා වී පවතියි. තත්කාල කේන්දරයේ සිකුරු ලග්න භාවයේ බලවත්ව මාලවි නම් යෝග බලයෙන් සිටියි.
තත්කාල ග්‍රහ තත්වය පහත දැක්වෙන පරිදි සටහන්ව පවතී.

              

Wednesday, April 5, 2017

සෙනසුරු වක්‍ර වෙයි.


           සෙනසුරු 2017. 04. 07 වෙනිදා පටන් වක්‍ර වෙනවා. වක්‍ර වන සෙනසුරු 2017. 06. 21 වෙනිදා පෙර සිටි වෘශ්චික රාශියට නැවත ගමන් කරනවා. 2017. 08. 25 වෙනිදා තෙක් වක්‍ර වන සෙනසුරු, 2017. 10. 27 වෙනිදා තෙක් වෘශ්චික රාශියේ කල් ගෙවනවා.
   සෙනසුරු වක්‍ර ගමනේ යෙදෙන කාලය එතරම් සුබදායක කාලයක් නොවන බව පෙනෙන්නට තිබෙනවා. නොයෙක් ලෙඩ රෝග,වසංගත හේතුවෙන් මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් ජනතාවට මහත් පීඩාවන් එල්ලවෙනවා. නොඉවසිලිමත්කම, ආවේගශීලී බව හේතුවෙන් ගැටුම් ආරවුල් ඇතිවෙනවා.
  සෙනසුරු වක්‍ර වී නැවත වෘශ්චික රාශියට පැමිණීමත් සමග මේෂ හා තුලා ලග්න හිමියන්ට නැවත ඒරාෂ්ඨක අපල උදාවෙනවා. ධනු හා වෘශ්චික ලග්න හිමියන්ගේ දැනට පවතින ඒරාෂ්ඨක අපලයේ බලපෑමද වර්ධනය වෙනවා.
   ඒ අනුව 2017. 06. 21 - 2017. 10. 27 අතර කාලය තුළ මේෂ, තුලා, වෘශ්චික, ධනු ලග්න හිමියන් ට ඒරාෂ්ඨක අපලයේ බලපෑම තදින් එල්ල වෙනවා. මෙම ලග්න හිමියන් ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි.වැටීම්,අනතුරු,අස්ථි බිඳීම් වලට ඉඩ තිබෙන බැවින් අවධානම් සහිත කටයුතු වලදී කල්පනාකාරී වීම වැදගත් වෙනවා. ශල්‍යකර්ම වලට ලක්වීමටද සිදුවිය හැකියි.මෙම කාලය තුළ මානසික නිරවුල්තාවය බිඳ වැටීමටත්, වැඩකටයුතු වලට බාධක අවහිර එල්ලවීමටත් ඉඩ තිබෙනවා. රැකියා කටයුතු  ව්‍යාපාර කටයුතු කෙරෙහි අනපේක්ෂිත බාධක එල්ලවෙනවා.
  කෙසේ වෙතත් තම උප්පත්ති ග්‍රහ බලය අනුව අපල බලපෑම් අඩු වැඩි වෙන බවද සඳහන් කළ යුතුයි. මේෂ, තුලා,වෘශ්චික,ධනු ලග්න වලින් උපත ලබා සිටියද තම කේන්දරයේ ග්‍රහ තත්වය අනුව ඇතැමුන්ට කිසිම උපද්‍රවයක් සිදු නොවිය හැකි අතර, ඇතැමුන්ට සාමාන්‍ය තරමේ බලපෑම්ද, ඇතැමුන්ට තද බල අපල ද එල්ල විය හැකියි.
    මෙම කාලය තුළ සියලු දෙනා ඉතාමත් ඉවසිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා.